මහ කැලයක් මැද මේජර් හා බිරිය සිය දිවි න සාගෙන
ණය බරින් බේරීමට නොහැකිව වස පානය කර සියදිවි නසාගත් අඹු සැමි යුවළකගේ මළ සිරුරු පන්නල කන්කානියම්මුල්ල වන රක්ෂිතයේදී ඊයේ (19 වැනිදා) සොයා ගෙන ඇත.
මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ යුද හමුදා මේජර්වරයකු වන අනුක්කනේ කුඹුක්කොටුව වත්ත පදිංචි සමරසිංහ පතිරණගේ ජානක චතුරංග නමැති 38 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ බිරිඳ වන දේශානි අනුරාධිකා නමැති 32 හැවිරිදි කාන්තාවකි. ඇය ගුරුවරියකි.
මොවුන් දෙදෙනාට වයස අවුරුදු 04ක දරුවකු ද සිටින බව පොලිසිය සඳහන් කරයි.
පන්නල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනුක ප්‍රියන්ජිත් හට ඊයේ උදෑසන තොරතුරක් ලැබී තිබුණේ කන්කානියම්මුල්ල රක්ෂිතය අසල යතුරුපැදියක් නවතා ඇති බවය.
මේ අනුව කළ සොයාබැලීමේදී එම ස්ථානයේ සිට මීටර් විස්සක් පමණ ඈතින් වූ රක්ෂිතයේ ගසක් අසල යුවළක් මියගොස් තිබෙන ආකාරයත් ඒ අසල වස බෝතලයක් සහ නෙක්ටෝ බෝතලයක් ද තිබෙන ආකාරයත් නිරීක්ෂණය වී ඇත.
පිරිමි පුද්ගලයාගේ සාක්කුව තුළ ජංගම දුරකතනය ද තිබී ඇති අතර එක් දුරකතනයකට එක් අංකයකින් දුරකතන ඇමතුම් 119ක්ම ලැබී තිබෙන බව ද පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. ඒ අංකය ඇමතීමේදී මියගිය යුවල අඹුසැමි යුවළක් බවට හෙළිවී ඇත.
එසේම මොවුන් සියදිවි නසාගත් ස්ථානයේ තිබී සැමියා විසින් බිරිඳගේ පියාට ලියන ලද ලිපියක් ද හමුවී ඇති අතර එහි සඳහන්ව ඇත්තේ දේපළ ආරවුලක් මත මෙම සියදිවි නසා ගැනීම සිදුව ඇති බවය.
මොවුන් පෙරේදා (18 වැනිදා) පැමිණ සිය දිවි නසාගන්නට ඇති බව පොලිසිය සැකකරන අතර මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුලියාපිටිය රෝහල වෙත යොමු කර ඇත.
කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ ගේ උපදෙස් මත පන්නල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනුක් ප්‍රියන්ජිත් ඇතුළු නිලධාරින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
– aruna –