පාසල් ළමුන් පිරිසක් ආහාර ගනිමින් සිටියදී ආපන ශාලව කඩා වැටෙයි
ගිනිගත්හේන පොලිස් ස්ථානය අසල පිහිටි අනාරක්ෂිත ආපනශාලාවක බිම කඩා වැටීමෙන් පාසල් සිසුන් හය දෙනෙකු බරපතල තුවාල ලබා ගිනිගත්තේන ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
පසුගිය 18 වන දින සිදු වූ මෙම අනතුරට ලක් වූයේ අඹගමුව විද්‍යාලයේ දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කණ්ඩායමකි. ගිනිගත්තේන පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක විරාජ් විතානගේ මහතා පැවසූ අන්දමට, මෙම සිසුන් ගිනිගත්තේන නගරයේ පැවැත්වෙන අතිරේක පන්තියකට සහභාගී වීමට පෙර ආහාර ගැනීම සඳහා එම ආපනශාලාවට ගොස් සිටි අවස්ථාවේ මෙම අනතුර සිදු වී තිබේ.
පොලිස් වාර්තා වලට අනුව, සිසුන් කණ්ඩායම ආපනශාලාවේ අනාරක්ෂිත මහලේ රැඳී සිටියදී, බිම සකසා තිබූ ලෑලි කඩා වැටීමෙන් ඔවුන් අඩි 15ක් පමණ පහළට ඇද වැටී තිබේ. ගිනිගත්තේන පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ කඩිනම් මැදිහත්වීමෙන් තුවාල ලැබූ සිසුන් රෝහල් ගත කෙරිණි. තුවාල ලැබූ සිසුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් ඇත.
ස්ථානාධිපතිවරයාගේ ප්‍රකාශයට අනුව, මෙම ආපනශාලාව තාවකාලික ලී ව්‍යුහයක් වන අතර,
පරීක්ෂණ වලදී හෙළි වූ පරිදි එහි භාවිතා කර ඇති ලී දිරාපත් වී තිබී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එම ආපනශාලාව වහාම වසා දැමීමට පියවර ගෙන ඇති අතර, අවට පිහිටි ඇති එවැනිම ස්වභාවයේ වෙළඳසැල් පිළිබඳව විධිමත් පියවර ගැනීම සඳහා අඹගමුව ප්‍රාදේශීය සභාව දැනුවත් කර ඇත.
පොලිසිය විසින් සිදු කරනු ලබන මූලික විමර්ශන වලින් හෙළි වී ඇත්තේ මෙම ආපනශාලාව නිසි ඉදිකිරීම් ප්‍රමිතීන්ට අනුකූල නොවන බවයි. විශේෂයෙන්ම බිම් මහලේ ලී ව්‍යුහය දිගු කලක් තිස්සේ නඩත්තු නොකිරීම හේතුවෙන් දුර්වල තත්ත්වයට පත්ව තිබී ඇත.
මේ අතර, ප්‍රදේශවාසීන් පවසන්නේ මෙවැනි අනාරක්ෂිත ගොඩනැගිලි පිළිබඳව කලින් දැනුම් දී තිබුණද, නිසි පියවර නොගැනීම හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති වන බවයි. ගිනිගත්හේන පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටින අතර, ප්‍රදේශයේ පවතින අනෙකුත් අනාරක්ෂිත ගොඩනැගිලි පිළිබඳවද විශේෂ අවධානය යොමු කර ඇත.
– Gossip lanka news