පාතාල කල්ලි 58ක් දැන් රඟනවා
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙරට පුරා සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ ඒවා හා සම්බන්ධ පුද්ගලයින් 1,400ක් පමණ හඳුනාගෙන ඇති බව හෙළි කරන ලද අතර ප්රචණ්ඩත්වය අවම කිරීමට ගන්නා උත්සාහයන් ගැන පැහැදිලි කිරීමක්ද කලේය. මහජනතාවට අලුුතින් 1997 අංකය හඳුන්වාාදෙමින් අපරාධ මැඩලීමට සහය වෙන ලෙසද ඉල්ලා සිටියේය.
මෙම වසර තුළ පමණක් වෙඩි තැබීමේ සිද්ධීන් 17ක් සහ පුද්ගලයින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධීන් 5ක් වාර්තා වී ඇති බව ඔහු පැවසීය. මේ අතරින් සිද්ධීන් 17ක විමර්ශන කටයුතු දැනටමත් අවසන් කර ඇති බව වැඩබලන පොලිස්පතිවරයා තහවුරු කළේය.
මෙම සිද්ධීන් කිහිපයකට පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඍජුව හා වක්‍රව සම්බන්ධ වී සිටි බව හෙළි වූ අතර, ඒ අනුව එවැනි නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සිදු කරන ලද විමර්ශනවලදී පහත සඳහන් ගිනි අවි සොයාගෙන ඇති බව වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය:
• T-56 පහර රයිෆල් – 13
• රිවෝල්වර් – 15
• පිස්තෝල – 21
• බෝර්-12 ගිනි අවි – 75
• රිපීටර් – 07
• දේශීයව නිපදවන ලද පොඩි පිස්තෝල – 805
• වෙනත් ගිනි අවි – 04
අපරාධකරුවන් සහ ගිනි අවි පිළිබඳ වටිනා තොරතුරු සපයන මහජනතාවට ත්‍යාග පිරිනැමෙන බව ද ඔහු සඳහන් කළේය.
ගිනි අවි සහ අපරාධ ක්‍රියා පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සඳහා මහජනතාවට 1-9-9-7 යන විශේෂ දුරකථන අංකය හඳුන්වා දී ඇත.
තවද, T-56 ගිනි අවි සොයා ගැනීමට තොරතුරු ලබා දෙන්නන් වෙත රුපියල් මිලියනයක ත්‍යාගයක් පිරිනැමෙන බව ද නිවේදනය කෙරිණි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් විශේෂ මෙහෙයුම් දියත් කර ඇති බවයි. මේ යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් පිහිටුවා ඇති අතර, ඔවුන් දිවා රාත්‍රී දෙකේම මෙම කාර්යය සඳහා යොදවා ඇති බව ද ඔහු පැහැදිලි කළේය.
මහජන සහයෝගය මෙම ව්‍යායාමයේ සාර්ථකත්වය සඳහා ඉතා වැදගත් බව අවධාරණය කළ වැඩබලන පොලිස්පතිවරයා,
සැක කටයුතු ක්‍රියාකාරකම් දකින ඕනෑම අවස්ථාවක 1997 අමතා ඒ බව දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. එවැනි තොරතුරු ලබා දෙන්නන්ගේ අනන්‍යතාවය රහසිගතව තබා ගන්නා බව ද ඔහු සහතික විය.
පොලිස් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සම්බන්ධතාව පිළිබඳව කතා කරමින්, මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් කිසිදු සමාවක් නොදෙන බවත්, වැරදිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත් වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළේය.
අවසන් වශයෙන් ඔහු සඳහන් කළේ මෙම අපරාධ ජාලය මුලිනුපුටා දැමීම සඳහා සියලු ආරක්ෂක අංශ එක්ව කටයුතු කරන බවත්, ඒ සඳහා පූර්ණ දේශපාලන සහයෝගය ද ලැබී ඇති බවත්ය.
gossip lanka news