රිලා සමීක්ෂන වාර්තාව එයි. අදහා ගත නොහැකි කොළඹ රිලා ගණන.
කොළඹ දිස්ත්‍රික්කයේ රිළවු 44,000 කට වැඩි සංඛ්‍යාවක් සිටින බවට පසුගියදා කරන ලද කෘෂි භෝගවලට හානි කරන වන සතුන් පිළිබඳ සංගණනයේ දී අනාවරණය වී ඇත.දිස්ත්‍රික්කයේ වැඩිම රිළවු සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි.
එම සංඛ්‍යාව 33,000 ක් පමණ වන බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආරංචිමාර්ග කියයි. මොරටුව ප්‍රදේශයෙන් රිළවු 115 ක් ද, දෙහිවල ප්‍රදේශයෙන් රිළවු 07 දෙනකුද වාර්තාවී තිබේ. රිළවු මොරටුව ප්‍රදේශයට පැමිණ ඇත්තේ දිවයිනේ පිට පළාත්වල සිට මොරටුවට එන කොටන් ලොරිවල බව ද පැවසේ. එම රිළා රංචුවේ පිරිසක් දෙහිවල ආශ්රිත ප්‍රදේශය දක්වා විහිදී සිටිති.
ගම්පහ දිස්ත්‍රික්කයේ ද රිළවු ලක්ෂ එක හමාරකට වැඩි සංඛ්‍යාවක් ජීවත්ව සිටිති. දොම්පේ, අත්තනගල්ල, දිවුලපිටිය සහ මීරිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ඉහළ රිළා ගහනයක් වාර්තා වන්නේය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වඳුරන් 69,000 ක් ද, මොනරුන් 27,000 ක්ද, දඬුලේනුන් 48,000 ක්ද වාර්තාවී තිබේ.
දිවයිනේ අඩුම රිළවුන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් බව හෙළිවේ. එම දිස්ත්‍රික්කයෙන් රිළවු 1,350 ක් පමණ වාර්තා වී ඇත. ඉන් රිළවු 1,200 ක් වාර්තාවී ඇත්තේ චාවකච්චේරි ප්‍රදේශයෙනි. එම ප්‍රදේශවල කාලයක් පැවැති යුද්ධය සමග රිළා ගහනය සීඝ්රයෙන් අඩුවී ඇතැයි අනාවරණය වේ.
කෙසේ නමුත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ රිළා ගහනය මිලියනය ඉක්මවා ගොස් තිබේ. එම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ රිළවු ලක්ෂ 11 ක් පමණ ජීවත් වන්නේය. බුලත්කොහුපිටිය සහ ගලිගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල රිළවුන් වැඩි වශයෙන් ජීවත්වන බව පැවසේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ, කැකිරාව ආදී ප්‍රදේශවලින් ඉහළ රිළා ගහණයක් වාර්තාවීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් ඉකුත් බ්‍රහස්පතින්දා (03 වැනිදා) මිහින්තලේ ප්‍රදේශයට ගොස් නැවත සමීක්ෂණයක් සිදුකර තිබේ. එමෙන්ම, කැකිරාව ප්‍රදේශය ආශ්‍රිතවද ඉකුත් සිකුරාදා (04 වැනිදා) නැවත සමීක්ෂණයක් සිදුකර ඇත.
මිහින්තලේ ප්‍රදේශය ආශ්‍රිතව කරන ලද සමීක්ෂණයේ දී අනාවරණයවී ඇත්තේ ප්‍රදේශයේ ගොවීන් විසින් එකම රිළා රංචුව කිහිප අවස්ථාවක දී ගණනය කර තිබෙන බවය. මිහින්තලේ ප්‍රදේශයේ ඉකුත් මාර්තු මාසයේ කරන ලද සංගණනයේදී රිළවුන් 41,586 ක්, වඳුරන් 19,159 ක්, දඬුලේනුන් 11,531 ක් සහ මොනරුන් 24,522 ක් සිටින බවට තොරතුරු අනාවරණය විය.
රිළා ගහනය සීඝ්රයෙන් ඉහළ යෑම හේතුවෙන්, රිළවුන් විශාල කූඩුවල රැඳවීම සම්බන්ධව ද වනජීවි අංශවල අවධානය යොමුවී ඇත.