විදෙස් සංචාරකයන්ට වෙනස්ම සේවාවක් සැපයූ නුවර එලියේ සම්බාහන ආයතනයට උන දේ
– නුවරඑළියට එන දෙස් විදෙස් සංචාරකයන්ට ස්පා මුවාවෙන් ගණිකාවන් සැපයු ස්ථානයක් වටලයි
– කතුන් 5ක් සැකපිට අත්අඩංගුවට
– කළමනාකරු අල්ලන්න විමර්ශන
– ස්පා මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා මධ්‍යස්ථාන ගැන සොයයි
ස්පා හෙවත් සම්බාහන ශාලා, තවත් විදිහකට කීවොත් ‘මසාජ් ක්ලිනික්’ ගැන දිනෙන් දින වාර්තා වන තොරතුරුවලින් මාධ්‍ය පුවත් මවයි. ඊයේ පෙරේදා වාර්තා වූ ලොකුම පුවත වූයේ සම්බාහන මධ්‍යස්ථානයකට ගිය වයස පහළොවක ළමයකු එහි සිටි වැඩිහිටි කතුන් දෙදෙනෙකු විසින් බරපතළ ලෙස අපයෝජනය කරනු ලැබූ බවට පළවූ ප්රවෘත්තියයි. මේ සිද්ධිය වාර්තා වී තිබුණේ කුරුණැගල ප්‍රදේශයෙනි. විමර්ශන සිදු කළේ කුරුණෑගල පොලිසියයි.
වාර්තා වුණු අන්දමට මේ ළමයා නිවෙසේ තිබුණු රුපියල් පනස්දහසක් ද රැගෙන කුරුණෑගල නගරයේ පිහිටි ස්පා එකකට ගොස් තිබූ අතර ඔහුට සේවය සැපයීම සඳහා කතුන් දෙදෙනෙකු ඉදිරිපත් වී තිබේ. මේ ළමයා ඒ දෙදෙනාට රුපියල් එක්දහස් පන්සියයක් දී ඇති බව ද කියැවේ. ළමයාට ‘සේවය’ ලබා දුන් කතුන් ඉන් අනතුරුව ළමයා බරපතළ ලෙස අපයෝජනය කර ඇත්තේ අනතුරුවය. ගෙදර ආ ළමයා මේ ගැන අම්මාට, තාත්තාට කියා තිබිණි. පැමිණිල්ල පොලිසියට එන්නේ ඉන් අනතුරුවය. කුරුණෑගල ප්‍රදේශයේ නීති විරෝධී ස්පා 60කට වඩා ඇති බවද පොලිසිය කළ විමර්ශනයකදී හෙළි වී තිබිණි.
ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථාන, කට වහරේ ඇති පරිදි ‘මසාජ් ක්ලිනික්’ රට පුරා බිහිවී ඇත්තේ හතු පිපෙන්නාක් මෙනි. බොහෝ එ්වා නියමිත සුදුසුකම් සපුරා නැත. ‘ආයුර්වේද සම්බාහන ශාලා‘ යන පාඨය සමහර තැන්වල නමට පමණක්යැයි යන්න කියන්නේ අප නොවේ පොලිසියයි. මෙවැනි ඇතැම් ස්ථානවල ගණිකා ජාවාරම ජයටම සිදුවන බව කාටත් නොරහසකි. පාතාලය, මත්කුඩු, සහ වෙනත් ජාවාරම් ද මෙවැනි ඇතැම් නීතිවිරෝධි ස්පා මූලික කරගෙන ක්‍රියාත්මක වන බව කවුරුත් දන්නා කාරණයකි.
මෙවැනි ඇතැම් තැන්වල සිදුවන සිදුවීම් ද පොලිසියට කරදරයකි. ඒ මහජන සාමය කඩවීමේ සිදුවීම් නිසාය. තලංගම ස්පා එකකට ගිය පුද්ගලයකු පහරදී ඝාතනය කෙරෙන්නේ පසුගියදාය. නුවර පාරේ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ස්පාහලකට කඩාවැදී එහි සිටි තරුණ කතුන් දෙදෙනෙකු පැහැරගෙන ගිය සන්නද්ධ කල්ලියක් එම දෙදෙනා නිවසක රඳවාගෙන අතවර කළැයි කියන සිද්ධියක් ද ගම්පහ ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය. ස්පා ශාලාවලට එන ගනුදෙනුකරුවන්ගේ මිල මුදල් සොරා ගැනීම්, ඒවායේ සිදුවන ගැටුම් ගැන ද පොලිසියට නිරතුරු පැමිණිලි ලැබේ. මේ සියලු කරුණු කාරණාවලින් කියවෙන්නේ මෙවැනි ස්ථානවල ඇති අන්ත දූෂිත වංචා සිදුවෙන බොහෝ තැන් ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් ක්‍රියාත්මක වන ගණිකා මධ්‍යස්ථාන බවය. තෙරපිවරියක් වැලිවේරියේ නිවෙසකදී කතක් ඝාතනය කළැයි කියන සිද්ධියක් ද පසුගියදා මහත් ආන්දෝලනයක් ඇති කළේය.
කොළඹට පමණක් සීමාවී තිබූ මේ ආයුර්වේද සම්බාහන ශාලා කොළඹින් පිටතත් හතු පිපෙන්නාක් සේ බිහි වන්නේ ඒවායේ නිසි ප්‍රමිතිය සහ නීත්‍යනුකූලභාවය පිළිබඳ වැඩිදුර කිසිවකුගේ අවධානය යොමු නොවන නිසාය. මීගමුව ප්‍රදේශයේ පිහිටි නීති විරෝධී ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථාන ගණනාවක් එක දවසකින් වසා දමන්නට බය නැතිව පියවර ගත් පොලිස් නිලධරයෙක් මීගමුවට සිටියේය. ඔහු මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරාය.
එරික් පෙරේරා කළ මේ මෙහෙයුමෙන් අනතුරුව රටපුරා නීති විරෝධී ස්පා ගණනාවක් පොලිසිය විසින් වැටලීම ආරම්භ කරන ලදි. එකම හේතුව සමහර ඒවා ගණිකා මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමයි. පොලිසිය දිගින් දිගටම මෙවැනි ස්ථාන වැටලීමත් සමඟ ඇතැම් ස්ථාන වසා දමන ලදි.
නුවරඑළියට එන සංචාරකයන් සඳහා පිහිටුවා ඇති ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන ද ගණනාවකි. දෙස් විදෙස් සංචාරකයන් රැසක් මේ ස්පා ආයතනවලින් සේවය ලබා ගනී. එහෙත් ඒ මුවාවෙන් ලොව පැරණිම වෘත්තිය සිදු කරන ස්ථාන ද නැත්තේම නැත. දැනගැනීමට ඇති හැටියට නුවරඑළියේ එවැනි ස්ථාන 5ක් පමණ ඇති බවට සැක කෙරේ. නුවරඑළිය මූලස්ථාන පොලිසියේ නිලධරයන්ද සියලු රාජකාරි අතර මේ පිළිබඳව ද පසු වන්නේ සෝදිසියෙනි.
නුවරඑළිය නගර සීමාවේ කුලියට ගත් ගොඩනැඟිල්ලක සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කරන බවට තොරතුරක් නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චිට ලැබෙන්නේ පසුගියදාය.
මේ ගැන තොරතුරු සොයන ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චිට දැනගැනීමට ලැබෙන්නේ එම තොරතුරු සත්‍ය සහ නිවැරදි බවයි. ඉන් අනතුරුව ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායම මේ ස්පා ආයතනය වැටලීම සඳහා සැලසුමක් සකස් කරන්නේ ඉතා සූක්ෂ්මවය. පොලිස් උපාය දූතයකු යොදවා වැටලීම සැලසුම් කරන්නේ අනතුරුවය.
නුවරඑළියට එන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් මුදලට කාන්තාවන් අලෙවි කළ අදාළ සම්බාහන මධ්‍යස්ථානය පොලිසිය විසින් වටලන්නේ ඉන් අනතුරුවය. ගණිකා වෘත්තියේ නිරතවී යැයි සැකපිට කතුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනිණි.
පොලිසිය අදාළ සම්බාහන මධ්‍යස්ථානය වටලද්දී එහි කළමනාකාරවරයා සිට නැත. ඔහු එය ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන ගොස් ඇති නිසා ඔහු සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පැවැත්වෙයි. එම පුද්ගලයා නුවරඑළියේ පදිංචිකරුවෙකි.
එලෙස සැකපිට අත්අඩංගුවට ගත් කතුන් කොළොන්නාව, හෝමාගම, හසලක, කඩවත, වැලිමඩ යන ප්‍රදේශවල පදිංචිකාරියෝය. ඔවුහු වයස අවුරුදු 25 – 47 වයස්වල පසුවන අය බවට තොරතුරු හෙළි වී ඇත.
මේ සැකකාරියන්ගෙන් ප්‍රශ්න කර කට උත්තර ලබා ගැනීම ද සිදුවන්නේ ඉන් අනතුරුවය.
නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චිගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරිණි.
දීපාල් සමරසේකර
උපුටා ගැනීම- සිළුමිණ