සැමියාගේ අනි යම් පෙම නිසා මි නීමරුවෙකු වූ බිරියකගේ පාපොච්චාරණය
ජීවිතය කොතැනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැරිව හිටිය කාලයක තමයි කුමාර මට හමුවුණේ. එයා හරිම ලස්සනයි. ඒ නිසාමයි මගෙ ඇස් කුමාර දිහාට හැරුණේ. ඒක මහ පුදුම හමුවීමක්. අපි දෙන්නා හරි ඉක්මනින්ම යාළු වුණා. මම එයාව මගේ ගෙදර අයටත් හඳුන්වලා දුන්නා. දවස් සති මාස හරි ලස්සනට ගෙවිලා ගියා. අපි විවාහ වුණා. හුඟක් දෙනෙක්ට නොකිව්වට ඒ උත්සවය හරි ලස්සනට තිබුණා.
පවුලේ එකම ගෑනු දරුවා මම වෙච්ච නිසා අම්මලා කැමැති වුණේ නෑ මාව ගෙදරින් පිට යවන්න. තට්ටු දෙකට හදලා තිබුණ අපේ ගෙදර උඩ තට්ටුවේ තමයි අපි දෙන්නා හිටියේ. අපේ ජීවිත එන්න එන්නම ලස්සන වුණේ පුංචි පුතා පවුලට එකතු වුණාට පස්සේ. ඒ වෙනකොට කුමාර පුද්ගලික ආයතනයක වැඩ කළේ. එයාගේ රැකියාව නිසා අපට කිසිම අගහිඟකමක් තිබුණේ නැහැ.
කුමාරගේ අම්මලා පදිංචි වෙලා හිටියේ මාතර. එයාලා අපේ ගෙදරට ආවේ ගියේ ඉඳලා හිටලා. මගේ පුතාට අවුරුදු දෙකක් විතර වෙනකොට මගෙ තාත්තා හදිසි අනතුරකින් මැරුණා. තාත්තා මියගිහිල්ලා මාස කිහිපයකින්ම අම්මත් මැරුණා. ඉන් පස්සේ තමයි මට ජීවිතේ මොකක්ද කියලා තේරුණේ.
නමුත් කුමාර මටයි පුතාටයි හරිම ආදරෙන් අපි ළඟ හිටියා.
දවසක් කුමාරමයි යෝජනාවක් ගෙනාවේ අපේ ගෙදර යට තට්ටුව කුලියට දෙමු කියලා. මගෙත් කිසිම අකමැත්තක් තිබුණේ නැහැ. කුමාරම එයාගේ යාළුවෙක් ඒ ගෙදර පදිංචියට ගෙනාවා. යාළුවයි යාළුවගෙ නෝනයි විතරයි අපෙ ගෙදර යට කොටසේ පදිංචි වෙලා හිටියේ. ටික කාලෙකට පස්සේ කුමාරගෙ යාළුවා රට රැකියාවකට ගියා. යාළුවාගේ නෝනා ‘ඉන්ද්‍රානි’. ඉන් ප්සසේ එයා ගෙදර හිටියේ තනියම. එයා අපිත් එක්ක හරිම යාළුයි. මමත් ගෙදර තනියම නිසා ඉන්ද්‍රානි තමයි මට හැමදේටම හිටියේ. සමහර දවස්වලට කුමාර ගෙදර එනකොට රෑ වුණා. එහෙම දවස්වලට ඉන්ද්‍රානි මාත් එක්ක අපේ ගෙදරට වෙලා හිටියා.
කාලය ගෙවිලා ගියා.
අපේ පුංචි පුතා ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ මමත් පුතා එක්ක ඉස්කෝලේ ගියා. කුමාර වෙනස් වුණා කියලා මට කවදාවත් දැනුණේ නැහැ. එයා හැම වෙලාවෙම මං ගැන හොයලා බැලුවා. ඒත් ඒක මහ දවසක් තිබුණේ නැහැ. කුමාර ටික ටික මගෙන් ඈත් වෙනවා කියලා මට දැනෙන්න ගත්තා. මම ඒ ගැන කුමාරගෙන් ඇහුවා.
“එහෙම එකක් නෑ අනේ. ඔයාට තේරෙන්නේ නැද්ද? ඉස්සර වගේ නෙමෙයි මට දැන් වැඩ වැඩියි. ඒකයි.” එයා එහෙම කියලා ඇඳේ අනෙක් පැත්තට හැරිලා නිදාගත්තා. මට කුමාර ගැන සැක හිතන්න කිසිම දෙයක් තිබුණේ නැහැ.
ඒ නිසා මම පුංචි පුතා එක්ක සාමාන්‍ය විදිහට ජීවත් වුණා. ඒත් ඒ හැමදේම වෙනස් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. දවසක් මම පුතා ඉස්කෝලේ එක්ක ගෙන ගියා. ඒත් වෙනදා වගේ මම එදා පුතා ඇරෙන තුරු ඉස්කෝලේ ගාව හිටියේ නෑ. එදා මගෙ හිසේ කැක්කුමක් තිබුණ නිසා මම පුතාව ඉස්කෝලෙට දාලා ගෙදර ආවා. එදා මම ගෙදර එනකොට කුමාරගේ කාර් එක මිදුලේ නතර කරලා තියෙනවා දැක්කා. උදේ ගෙදරින් ගිය කුමාර හදිසියේම ආයෙත් ආවේ ඇයි කියලා බලන්න මම උඩ තට්ටුවට ගියා. ඒත් දොර වහලා අගුළු දාලා තිබුණේ.
මට හිතාගන්න බැරි වුණා එයාට මොකද වුණේ කියලා. මම පඩිපෙළින් පහළට බැහැලා කුමාරට කෝල් එකක් ගත්තා. කාර් එකේ සීට් එක උඩ ෆෝන් එක රිං වෙනවා මම දැක්කා. හැබැයි මොන එහෙකට ද මන්දා මගේ හිතට ආවා පහළ ගෙදර දොර ඇරලා බලන්න ඕන කියලා. නිකම්ම වහලා තිබුණ දොර ඇරගෙන මම ගේ ඇතුළට ගියා.
මට මගේ ඇස් අදහාගන්න බැරි වුණා.
මගෙ කුමාර ඉන්ද්‍රානිගේ කාමරේ ඇඳට වෙලා ඉන්නවා ඉන්ද්‍රානිත් එක්ක. මට මොනවා වුණාද කියලා කියන්න මම දන්නේ නැහැ. මගේ අතට අහුවුණේ ඉන්ද්‍රානිගේ මේසය උඩ තිබුණ පිහිය. මම මාරයා ආවේශ වෙලා වගේ එයාගේ කාමරයට පැන්නේ.
මාව දැක්ක කුමාර දඩිබිඩි ගාලා කාමරයෙන් පැනලා දිව්වා. මගෙ අතට අහුවුණේ ඉන්ද්‍රානිගේ කොණ්ඩේ. මම එයාව ඇදලා අරගෙන පිහියෙන් ඇන්නා. එයාව බේරගන්න කවුරුවත් ආවේ නෑ. ඉන්ද්‍රානි මර හඬ දුන්නා. මගේ කේන්තිය ඉවර වෙනකෙට හැමදෙයක්ම වෙලා ඉවරයි.
එතකොට පොලිසියෙනුත් ඇවිල්ලා. දවස් දෙක තුනකට පස්සේ ඉන්ද්‍රානි මැරුණා. මම හිටියේ පොලිස් අත්අඩංගුවේ. අවුරුදු ගාණකට පස්සේ මට ජීවිතාන්තය දක්වා හිරේ ඉන්න සිද්ධ වුණා. දැන් මගෙ පුතා ලොකුයි. පුතා ඉන්නේ කුමාර එක්ක. අවුරුද්දකට වතාවක්වත් පුතා එනවා මාව බලන්න. මට පුතා එක්ක කතා කරගන්න බෑ. මගෙ දරුවට ලැජ්ජා ඇති එයාගේ අම්මා හිරේ කියලා කියන්න. කුමාර සමහර වෙලාවට මාව බලන්න ආවත් මම එයා එක්ක කතා කරන්නේ නැහැ. එයා නිසා තමයි ජීවිතේ නැත්තටම නැති වුණේ. දැන්නම් මගේ හිතේ කා ගැනවත් තරහක් නැහැ. ඇත්තම කිව්වොත් මම පසුතැවෙනවා. ඒ තරම් ලොකු වරදක් කරපු එක ගැන. මට ඉවසන්න තිබුණා කියලා හැම මොහොතකම හිතෙනවා.”
හිරගෙදරදී මට හමුවූ ‘ඇය’ එලෙස පැවැසුවේ දෑසේ කඳුළු පුරවාගෙනය. සැමියාගේ අනියම් පෙම නිසා ඇයට ඇගේ පවුල් ජීවිතය අහිමි විය. එකම පුතු සමඟ රැඳෙන්නට වරම් නැති මේ අම්මා දැන් ජීවිතයේ අවසන් කාලය පැමිණෙන තුරු බලා සිටින්නීය.
“වැරැද්දක් කරලා ඒක තමන් කළේ නෑ කියලා හිත හදාගන්න බැහැ. මේ අවුරුදු ගාණම මම හිතින් තැවුණා. සිනමාපටයක් වගේ මගේ ඇස් ඉස්සරහා ඒ සිද්ධිය තවමත් මැවිලා පේනවා. ඒ හැම මතකයකින්ම හිත නිදහස් කරගන්න මම ජීවිතයෙන් සමුගන්න ඕන. ඒ නිසා මම දැන් බලාගෙන ඉන්නේ කවදාහරි මගේ අවසන් මොහොත එනතුරුය.
(විශේෂ ස්තුතිය
බන්ධනාගාර දෙපාර්තමේන්තුව)
ඉනෝකා සමරවික්‍රම
සිළුමිණ