හිටපු පෙම්වතා පෙම්වතියව පැහැර ගනී.
කිලිනොච්චිය පුන්නාලෙයිකඩ්ඩුවන් ප්‍රදේශයේදී පැහැරගැනීමට ලක් වූ තරුණිය අද (18) අලුයම සොයාගත් බවටත් තරුණිය පැහැරගත් ප්‍රධාන සැකකරුද අත්අඩංගුවට ගෙන ඇතැයි කිලිනොච්චිය පොලීසිය පැවසීය.
පැහැරගැනීමට ලක් වූ තරුණිය 26 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය කිලිනොච්චිය පුන්නාලෙයිකඩ්ඩුවන් ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍ය ස්ථානයක සේවය කරන බැවින් එම ප්‍රදේශයේ කුලීපදනම මත නැවතී සිට ඇති අතර ඇය සේවය නිම වී කුලී නිවස කරා 16 දා රාත්‍රියේ එමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් ඇයව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇත.
අනතුරුව ඒ පිළිබඳව කිලිනොච්චිය පොලීසිය විසින් පුලුල් පරික්ෂණයක් සිදුකල අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ආසන්න මොහොතේදී පැහැරගත් තරුණිය කිලිනොච්චියේ පිහිටි ඇගේ ඥාති නිවසක් වෙතට භාරදී සැකකරුවන් පලාගොස් තිබුණි.
අනතුරුව කිලිනොච්චිය පොලීසිය විසින් තරුණිය පැහැරගැනීමේ චෝදනාව මත ප්‍රධාන සැකකරු හා පැහැරගැනීම සිදුකල වෑන් රථයද අද (18) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
මෙම පැහැරගැනීම පිළිබඳව පරික්ෂණ සිදුකල පොලීසියට අනාවරනය වී ඇත්තේ ප්‍රධාන සැකකරුද තරුණියගේ ඥාතියෙකු වන අතර ඔවුන් දෙදෙනා අතර කලක සිට ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති හෙයින් එය දෙපාර්ශවයේ දෙමාපියන් දැනගත් පසු එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් තරුණිය විසින් එම සම්බන්ධය නවතා දමා තරුණයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකොට ඇති බවටය.
– වන්නි රොමේෂ් මධුෂංක