දළදා ප්රදර්ශනයන වැදපුදා ගන්න ගියපු ජන ගගේ පළමු ඡායාරූප පෙළ මාධ්‍යට
වසර 16ක පමණ කාලයකට පසුව අද දින (18) සිට “සිරි දළදා වන්දනාව” නැවතත් ආරම්භ කෙරෙන අතර, මෙම ඓතිහාසික අවස්ථාවේ සමාරම්භක උත්සවය අද දහවල් 12.30 ට පමණ පැවැත්වීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු විශිෂ්ට ආගන්තුකයින් රැසක් මෙම උත්සවයට සහභාගි වීමට නියමිත බව වාර්තා වේ. මෙම අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක්ද සහභාගි වීමට නියමිත අතර, ඔවුන් කොළඹ සිට මහනුවර දක්වා විශේෂ දුම්රියකින් රැගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.
ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීම මත මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්හි මහා නායක හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමාගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කෙරෙන මෙම “සිරි දළදා වන්දනාව” අද සිට අප්‍රේල් 27 වන දින දක්වා දින 10ක කාලයක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇත.
ආරම්භක දිනය වන අද (18), පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සළසා දී ඇති අතර, හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට පස්වරු 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට අවස්ථාව ලබා දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
දළදා මාළිගා පරිශ්‍රයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආරක්ෂක අංශ ප්‍රධානියෙකු සඳහන් කළේ දළදා වන්දනාවට පැමිණෙන සියලු බැතිමතුන් පමණක් නොව පූජ්‍ය පක්ෂයද මෙම අවස්ථාවේදී දැඩි පරීක්ෂාවකට ලක් කරන බවයි. මෙමඟින් දළදා මාළිගාවේ සහ පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
දළදා වන්දනාව සංවිධායක මණ්ඩලය විසින් මෙම උත්සවයට පැමිණෙන සියලු බැතිමතුන්ගෙන් සුදුවතින් සැරසී පැමිණෙන ලෙස විශේෂ ඉල්ලීමක් කර සිටියි. මෙය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වන දළදා වහන්සේට ගරු කිරීමේ සම්ප්‍රදායික ක්‍රමවේදයක් බව ප්‍රකාශ කෙරිණි.
මෙවර “සිරි දළදා වන්දනාව” දින 10ක් පුරා විශේෂ ආගමික වතාවත් සමඟින් පැවැත්වීමට නියමිත අතර, මෙම කාලය තුළ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් දළදා මාළිගාවට පැමිණීමට අපේක්ෂා කෙරේ. මහනුවර නගරය සහ ආශ්රිත ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරිකයින් ද මෙම අවස්ථාව විශේෂ අවස්ථාවක් ලෙස සලකමින් නවාතැන් පහසුකම් ඇතුළු අනෙකුත් සේවාවන් උපරිම මට්ටමින් සපයමින් සිටිති.
වාහන ගාල් 25 ක්
මහනුවර දළදා මාළිගාව වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා මහනුවර නගර සීමාව තුළ හා ඉන් පිටත රථගාල් 25ක් ස්ථාපිත කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මහතා ප්‍රකාශ කර සිටියි. මහනුවර නගරාසන්නයේ රථගාල් 12ක් සහ නගරයෙන් පිටත රථගාල් 13ක් ලෙස මෙම රථගාල් ස්ථාපිත කර ඇති බව ඔහු අනාවරණය කළේය.
ඊයේ (17) දින මහනුවර පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ වාහන නගරයට ඇතුළු කිරීම සීමා කර ඇති බවත්, විවිධ ප්‍රදේශවලින් පැමිණෙන වාහන කටුගස්තොට, තැන්නකුඹුර, පේරාදෙණිය, පොල්ගොල්ල, මහයියාව, පල්ලේකැලේ හා ගුරුදෙණිය යන ස්ථානවල නවතා තැබීමට කටයුතු යොදා ඇති බවත්ය. එහිදී බැතිමතුන් බස් රථවලින් නගරය කරා රැගෙන ඒමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.
විශේෂයෙන්ම මෙවර දළදා වන්දනාවේදී VIP-VVIP පෝලිම් නොමැති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.
දෛනික අවශ්‍යතා සඳහා මහනුවරට පැමිණෙන ජනතාවගේ වාහන නගරයේ නවතා තැබීමට අවසර නොදෙන බැවින් ඔවුන් සඳහා වේවැල්පිටිය ක්‍රීඩාංගණය, සහස් උයන රථගාල, ගැටඹේ මහානාම ක්‍රීඩාංගණය, මහයියාව සුසාන භූමිය ඉදිරිපිට මාර්ගය, මහනුවර නාගරික රථගාල, බෝගම්බර ක්‍රීඩාංගණය ඇතුළු ස්ථාන 12ක් වෙන්කර ඇති බව ද සුදත් මාසිංහගේ මහතා වැඩිදුරටත් පැවසුවේය.
ආරක්ෂක විධි විධාන
නගරයට ඇතුළු වන සියලු මාර්ග ආවරණය වන පරිදි මාර්ග බාධක යෙදීමට පියවර ගෙන ඇති අතර, දළදා මාළිගාවේ සහ බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 10,000ක් සේවයේ යොදවා ඇති බව ද ඔහු සඳහන් කළේය. දළදා මාළිගා පරිශ්‍රයේ පමණක් සිවිල් නිලධාරීන් ද සමඟ පොලිස් නිලධාරීන් 1060ක් සේවයේ යොදවා ඇති බව ද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.
විශේෂ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් පැමිණෙන්නාක් මෙන් නමගිය ගැටකපන්නන් ද මෙවැනි අවස්ථාවලදී නගරයට පැමිණෙන බව අත්දැකීමෙන් දන්නා බවත්, ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන මට්ටමින් විමසිලිමත්ව තොරතුරු රැස්කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
බස් රථවලින් කප්පම් ගන්නා පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, යාචකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන් අධිකරණ නියෝග මත පුනරුත්ථාපන මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බව ද සුදත් මාසිංහගේ මහතා පැවසීය.
මෙම අවස්ථාවේදී දළදා පෙරහැර කාලය තුළ නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා විස්තර කළේය. විශේෂයෙන්ම බැතිමතුන්ගේ පහසුව සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විධිමත් සැලසුමක් සකස් කර ඇති බව ද පැහැදිලි කළේය.
ආබාධිතයින් සඳහා පහසුකම්
ආබාධ සහිත ජනතාවට කිසිම අපහසුවකින් තොරව දළදා වහන්සේ වන්දනා කිරීමට පහසුකම් සලසා තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පවසයි.
ඒ සඳහා රෝද පුටු 100ක් සූදානම් කර තිබෙන බවත් ආබාධ සහිත පුද්ගලයකු පැමිණියහොත් ශ්‍රී දළදා මාලිගාව සතු විදුලි මෝටර් රථවලින් ඔවුන් දළදා මාලිගා පරිශ්‍රයට ප්‍රවාහනය කර එතැන් සිට රෝද පුටු මඟින් සිරි දළදා වන්දනාව පැවැත්වෙන පිරිත් මණ්ඩපය ආසන්නයට රැගෙන යන බව ද ඒ මහතා කීය. මේ සම්බන්ධයෙන් දියවඩන නිලමේවරයා ඇතුළු සංවිධායක කමිටුව විශේෂ අවධානයක් යොමු කර අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන බවත් ඊට අමතරව භික්ෂූන් වහන්සේට ද සාමාන්‍ය පෝලිම්වලින් තොරව දළදා වන්දනාවට අවස්ථාව ලැබෙන බවත් මාසිංහගේ මහතා පැවසීය.
මහ සංඝරත්නය ඇතුළු සියලු දෙනා දළදා මාලිගා පරිශ්‍රයට පැමිණීමට පෙර අවස්ථා දෙකක දී පරීක්ෂාවට ලක් කරන බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.
දන්සැල් 383 ක්
මෙවර සිරි දළදා දැක්ම වෙනුවෙන් පැමිණෙන බැතිමතුන් සඳහා ආහාර ලබා දීම සඳහා දන්සැල් 383 ක් ලියා පදිංචි වී තිබෙන බව මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ මහතා පැවැසීය.
මෙවර බැතිමතුන් සඳහා දන්සැල් ලබා දීම ලියා පදිංචි කිරීම මාර්ගගතව සිදු කිරීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන ඇත.
ඒ අනුව දන්සැල් ලබා දීය හැක්කේ ලියාපදිංචි පුද්ගලයින් සහ ආයතන වලට පමණක් බවත් ඒ සඳහා ඔවුන් වෙත සහතික පත්‍රයක් ලබා දීමට ද පියවර ගෙන ඇති බවත් ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය.
සියලු ආහාර කටයුතු පරික්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් 26 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් යොදවා ඇති අතර ඔවුන් විසින් දෛනිකව පරික්ෂා කිරීම් සිදු කරන බවත් පසන් පැරකුම් ජයසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
මේ වන විට සියලුම තොග වෙළඳසැල්, හොටල්, අවන්හල් ඇතුළු ආහාර පරිහරණය කරනු ලබන ආයතන පරික්ෂා කර ඇති බවත් ඒ මහතා පැවසීය.
ජල හා සනීපාරක්ෂක පහසුකම්
බැතිමතුන් සඳහා ලබා දෙන පානීය ජලය දිනපතා පරික්ෂා කිරීමට කටයුතු කරන බවත් බැතිමතුන් ගමන් ගන්නා මාර්ග දෙපස ජල කරාමද මහ නගර සභාව විසින් ස්ථාපිත කර ඇති බවත් ජංගම වැසිකිළි 150ක් ද නගරය තුළ විවේක ස්ථානයන් ද හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථාන අටක් ද ස්ථාපිත කර ඇති බවත් පසන් ජයසිංහ මහතා සඳහන් කළේය.
මහනුවර නගර සීමාව තුළ ඩෙංගු රෝගීන් වාර්තාවීම අඩු මට්ටමක පවතින බවත් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර ඇති බවත් ලැගුම්හල් පිරිසිදුකර මදුරුවන් පළවා හැරීම සඳහා අවශ්‍ය රසායනික දුමායන කටයුතු ද සිදු කර ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.
තවදුරටත් බැතිමතුන් සඳහා දන්සැල් ලබාදීට ලියාපදිංචි වීමට අවහ්‍ය නම් මහනුවර මහ නගර සභාවේ වෙබ් අඩවිය හරහා ලියාපදිංචිය ලබා ගත හැකි බවත් ඒ මහතා පැවසීය.
මෙම උතුම් ආගමික උත්සවය සාර්ථක කර ගැනීම සඳහා රජයේ සියලු ආයතන, පොලිසිය, හමුදාව, මහනුවර මහ නගර සභාව, මධ්‍යම පළාත් සභාව ඇතුළු ආයතන රැසක් එක්ව විශේෂ සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරමින් සිටින බව ද නිලධාරීහු පවසති.