මීළඟට ලොකුම අනතුර වන්නේ අධිවේගේ ඇග කිළිපොලා යන අනතුරුඇගවීමක්
රම්බොඩ, ගැරඬිඇල්ලේ බස් අනතුරත් සමග ගිය සතියේ රටේ ලොකුම මාතෘකාව වුණේ දුරගමන් සේවා බසය ගැනය. දුරගමන් සේවා බස් ගැන කතා කරනවිට අපේ මතකයට ආවේ දශක දෙක තුනකට ඉහත දී රටේ පැවැති තත්ත්වයය. එකල කොයි පළාතකට ගියත් රට්ටුන්ට යන්නට වුණේ කොළඹ නගරය හරහාය. කතරගම සිට නුවරඑළියට යන්නට වුවමනා නම් කොළඹ දක්වා බසයෙන් පැමිණ එතැනින් නුවරඑළිය බසයට ගොඩවෙන්නට ඕනෑය. ඒත් පසුකලෙක රට හරහා දුරගමන් සේවා බස් ධාවනය ආරම්භ වූ හෙයින් රට්ටුන්ට ගමන් බිමන් යෑම අසීරු නොවීය. මේ ඇතැම් බස් පොල් රුප්පාවෙන් සිය ගමන ආරම්භ කර ගමන අහවර කළේ තල් රුප්පාවෙනි. තවත් ඒවා වියළි කලාපයේ කටු පඳුරු ලඳු කැලෑ මැදින් ගමන ආරම්භ කර සරුසාර කෙත්වතු, ගංගා ඇළදොළ පසුකරගෙන කන්ද උඩරටින් ගමන අහවර කළේය.
කතරගම සිට යාපනය, කුරුණෑගල දක්වාත් තංගල්ලේ සිට යාපනය, තිරිකුණාමලය, මීගමුව, මුලතිව් මෙන්ම ගාල්ලේ සිට අම්පාර, මඩකලපුව, නුවරඑළිය දක්වා දුරගමන් සේවා බස් ධාවනය කෙරුණේය. තවත් ඒවා මාතර සිට කල්මුණේ, බණ්ඩාරවෙල, රත්නපුර, බදුල්ල, ගම්පහ, අනුරාධපුරය සහ පොළොන්නරුව දක්වා ධාවනය කෙරුණේය. මෙවැනි බස් බොහෝමයක් ගමන් අරඹන්නට බලපෑ හේතු කාරණා කිහිපයක් තිබුණේය. රජයේ රස්සා කරන උදවියගේ ස්ථාන මාරුවීම් එයට බලපෑ එක් කාරණාවකි. ඒ හැරුණුකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්, ආරක්ෂක අංශ සාමාජිකයන් මෙන්ම ප්‍රධාන පෙළේ රෝහල් පිහිටි නගර කරා බොහෝමයක් බස් රථ ධාවනය කෙරුණේය.
මහරගම අපේක්ෂා රෝහලට යන රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන්ගේ සුවපහසුව වෙනුවෙන් කලකට පෙර ලංගම බස් යෙදවීය. ගහට ගහක් මොරටුවේ දී හමුවන්නා සේ කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි බස් නැවතුම්පොළ හැරුණුකොට රටේ සිවුදෙසින් ඇදෙන බොහෝමයක් බස් එකිනෙක හමුවන ගමනාන්තය වන්නේ මහරගමය. වැලිමඩ, පුත්තලම, කුරුණෑගල, ආණමඩුව, මන්නාරම, පොළොන්නරුව, මහියංගනය, මාතර ආදී බොහෝ නගරවල සිට අපේක්ෂා රෝහල දක්වා බස් රථ ධාවනය කරන්නේය. ඒත් පෞද්ගලික බස්රථවල ආරෝවෙන් ඉස්සර තරමට දැන් අපේක්ෂා රෝහලට බස් ධාවනය වෙන්නේ නැත.
මහරගම ගමනාන්තය දක්වා එන බස්වලින් රැගෙන යන්නේ අපේක්ෂා රෝහලට එන මගීන් පමණක් නොවේ. නිමි ඇඳුම් හා රෙදිපිළිවලට ප්‍රසිද්ධ පමුණුවේ රෙදිකඩවලින් දුරබැහැර ගම් පළාත්වලට රෙදි ගෝනි පිටින් බස්වලට පටවාගෙන රැගෙන යන්නේය. මහරගම නෑවිත් රෙදි තොග ගමට ගෙන්වා ගන්නට රෙදි වෙළෙන්දන්ට පුළුවන. මහරගම හැරුණුකොට කතරගම, බණ්ඩාරවෙල සහ ඇඹිලිපිටියේ සිට ගාල්ල කරාපිටිය දක්වා දුරගමන් සේවා බස් ධාවනය කෙරෙන්නේය. ඒ කරාපිටිය ශික්ෂණ රෝහල දක්වා එන රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන්ගේ පහසුවටය. පමුණුවේ රෙදි පිළි ප්‍රවාහනය කරන්නාක් මෙන් රටේ ඒ ඒ පළාත්වල ජනපද අතර භාණ්ඩ හුවමාරු කරන්නට එදා මෙන්ම අදත් දුරගමන් සේවා බස් යොදාගන්නේය. වැලිමඩ, බණ්ඩාරවෙල වගාකෙරෙන එළවළු රටපුරා ප්‍රවාහනය කරන්නට ඇතැමුන් භාවිත කරන්නේ දුරගමන් සේවා බස්ය.
නුවරඑළියේ සිට ගාල්ල දක්වා යන බස්වල දශක ගණනාවක සිට අමුතුම ආකාරයේ එළවළු ව්‍යාපාරයක් කරගෙන ගියේය. මගීන් ප්‍රවාහනය කරනවාට අමතරව මේවායේ එළවළු බෑග් ප්‍රවාහනය කරන්නේය. මේ බස්වල යන මගීන්ට අමුතුවෙන් පොළට ගොස් එළවළු මිලදී ගන්නට වුවමනා නැත. නුවරඑළියෙන් පිටත් වෙද්දි වර්ග පහකින් යුතු එළවළු බෑග් පනහක් පමණ බසයෙන් රැගෙන පැමිණ එන්නේය. ඒවා අතරමගදී මගීන්ට අලෙවි කර යහමින් අතට ගාණක් උපයා ගන්නට පුළුවන. මගීන් කියන්නේ මේ ව්‍යාපාරය බසයේ කොන්දොස්තර සහ රියැදුරු යන දෙදෙනා විසින් කරන බවය. ඔවුන් එක් එළවළු බෑගයක් අලෙවි කෙරෙන්නේ රුපියල් තුන්සීයක් පමණ මිලකටය. දින දෙක තුනකට සැරයක් බස්වලින් එළවළු මිල දී ගන්නට ද මේවායේ යන මගීහු පිරිසක් පුරුදු වී සිටින්නෝය.
අම්පාරේ සිට ගාල්ල දක්වා ධාවනය කෙරෙන බස්වලින් ද මෙවැනිම වූ ආකාරයට භාණ්ඩ ප්‍රවාහනය කරන්නේය. ඒවායේ රැගෙන යන්නේ එළවළු නොවේ. මීකිරිය. අම්පාරේ කිරි ගොවීන්ගෙන් තොග මිලට මිල දී ගන්නා කිරි හට්ටි අම්පාරේ සිට ගාල්ල දක්වා යන අතරමග දී වෙළෙඳසල්වලට දමාගෙන යන්නේය. තතු දත්තෝ කියන්නේ බොහෝවිට මේ රාජකාරිය කරන්නේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් බවය. ගාල්ල දක්වා යන ගමනේ දී දික්වැල්ල, ගන්දර, මාතර, මිරිස්වත්ත, වැලිගම ආදී නගරවල වෙළෙඳසල්වලට බසයෙන් මීකිරි මිල දී ගතහැකිවන්නේය. අම්පාරේ සිට ගාල්ලට බසයෙන් කිරි පටවාගෙන යද්දි මඩකලපුවෙන් ගමන් අරඹන බස් මඩකලපුවේ මීකිරි කොළඹට රැගෙන එන්නේය. නුවරඑළියේ වගා කෙරෙන මල් ව්‍යාපාරිකයෝ සිය මල් නිෂ්පාදන කොළඹට ප්‍රවාහනය කරන්නේ ද දුරගමන් සේවා බස්වලිනි. පාන්දර ජාමයේ නුවරඑළියෙන් ගමන් අරඹන බසයට හොඳින් ඇසිරූ මල් පෙට්ටි දුන්විට එළිය වැටුණු පසු ඒවා කොළඹින් බා ගන්නට වෙළෙන්දන්ට පුළුවන.
හැන්දෑවේ හයයි තිහට තිරිකුණාමලය ගමනාන්තය බලා තංගල්ලෙන් ගමන් අරඹන “මලේ” බස් රියේ ද භාණ්ඩ රැගෙන ගියත් ඒවා රැගෙන යන්නේ අලෙවි කරන්නට නොවේ. ධීවරයන්ගේ අඩුම කුඩුමය. මේ බස් රිය කොළඹට ළඟා වෙන්නේ මැදියම් රැය උදා වෙන්නට අඩ හෝරාවක් තිබියදීය. එතැනින් රියැදුරු මාරු වී තිරිකුණාමලය දක්වා ගමන් අරඹන්නේය. රියැදුරු මාරු වෙන්නේ ගමනාන්තය දක්වා බසය ගමන්කළ යුතු දුර වැඩි නිසාය. අමතරව යන රියැදුරාට වෙනම ආසනයක් මේ බසයේ වෙන්කර ඇත්තේය. “මලේ” බස් රියට වැඩිම ඉල්ලුම ඇත්තේ ධීවරයන්ගෙන්ය. ඊට බලපෑ සුවිශේෂි කාරණයක් ඇත්තේය. තංගල්ලෙන් හෝ කුඩාවැල්ලෙන් මූදු ගිය ධීවරයන් තිරිකුණාමලය වරායට ගොඩබැස සිටින්නේ නම් ඔවුන්ට යළි මූදු යන්නට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන යන්නේ මේ බසයෙන්ය. තංගල්ලේ ධීවරයන් තිරිකුණාමලයෙන් යළි මූදු ගමන ඇරැඹුවත් ඔවුන් මූදු රස්සාවට යනවිට රැගෙන යන කෑම බීම ආදී සියල්ල මිල දී ගන්නේ තංගල්ලේ සිටින ඥාතී ධීවරයන්ය. ඒ වෙනුවෙන් “මලේ” බසයේ ගමන්මලු බහාලන කොටස ගබඩාව කල්තියා වෙන් කරගන්නට වුවමනාය. එක් ගමනකදී රුපියල් හයදහසක මුදලක් ඒ වෙනුවෙන් ගෙවන්නට වෙන්නේය.
ලංකා සිතියමේ පහළින්ම පිහිටි නගරය වන තංගල්ලේ සිට රටේ එහා කෙළවර දක්වා ධාවනය කෙරෙන බස් ඇත්තේ “මලේ” බස්රිය පමණක් නොවේ. ඉහළම කෙළවරේ පිහිටි යාපනය නගරය දක්වා ද දුරගමන් සේවා බස් ධාවනය කරන්නේය. හැන්දෑවේ පහට ගමන් අරඹන මේ බසයේ යන්නට පුරුදු වී සිටින්නේ ආරක්ෂක සේවයේ රාජකාරි කරන ඇත්තන්ය. පසුදින උදේ නවයට ගමනාන්තයට ළඟා වන එහි රියැදුරන් දෙදෙනකු ගමන් කරන්නේ ධාවනය කරන්නට ඇති දුර ප්‍රමාණය වැඩි නිසාය.
රම්බොඩ, ගැරඬිඇල්ලෙන් අනතුරට ලක්වූ කතරගම සිට කුරුණැගල දක්වා ධාවනය කළ බසය ගැන කතා කරද්දී රට්ටු මතුකළේ මේ දුර ගැටලුවය. හරිනම් අපේ රටේ නීතියේ හැටියට පැය හතර හමාරකට වැඩි අඛණ්ඩ කාල සීමාවක ධාවනය කරන රියැදුරකුට විවේක කාලයක් දීම අත්‍යවශ්‍යය. මේ බව 1981 අංක 21 දරන මෝටර් වාහන (සංශෝධන) පනතේ දක්වා ඇත්තේය. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගලගෙන් මේ සම්බන්ධයෙන් විමසූ කල ඔහු ද මේ බව තහවුරු කළේය. දවසේ වැඩි කාලයක් ගෙවාගෙන කිලෝමීටර සිය ගණනක් දුර දුවන දුරගමන් සේවා බස් ගැන බලධාරින්ගේ අවධානය යොමු වුණේ ගැරඬිඇල්ලේ දී ලංගම බසය පාරෙන් පිට පැන්න පසුවය. ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න දෙතුන් දවසකට ඉහත දී කීවේ ගමන් වාරය පැය හයකට වැඩි නම් ගමන අවසන් කරන්නට බස් දෙකක් යෙදවීමට සැලසුම් කරන බවය.
ගැරඬිඇල්ලේ දී ප්‍රපාතයට පෙරළී ගිය බසය ගැන කතා කළ රට්ටු කීවේ කිලෝමීටර තුන්සීයකට ආසන්න දුරක් එක් රියැදුරෙකු පමණක් පදවා ගෙන යාම අසීරු බවය. කතරගම සිට කුරුණෑගල දක්වා මේ බසය ධාවනය කරන්නේ රාත්‍රි කාලයේදීය. එය ගමනාන්තයට ළඟා වෙන්නේ එළිය වැටුණු පසුවය. යළි එය කුරුණෑගලින් ගමන් ආරම්භ කරන්නේ ද රාත්‍රි 7.30ට ය. බොහෝ විට මේ බසයේ යන්නේ පුරුදු ඇත්තන්ය. එක්කෝ ඒ සරසවි සිසුන්ය. පේරාදෙණිය, කොළඹ, කැලණිය, ජයවර්ධනපුර, වයඹ ආදී බොහෝ සරසවි සිසුන් මේ බසයෙන් යන්නට පුරුදු වී සිටින්නේ එළිය වැටීගෙන එන ජාමයට ගමනාන්තයට යාහැකි වීම නිසාය. කොළඹ දෙසට එන සිසුහු පේරාදෙණියෙන් බැස කොළඹ දක්වා යන බසයකට ගොඩවන්නෝය. කොළඹ රස්සාවට එන සමහර නෝනා මහත්තුරු දිනපතා මේ බසයේ ගමන් කරන්නට පුරුදු වී සිටියෝය.
දුරබැහැර ගම්පළාත්වල සිට කොළඹ රස්සාවට එන නෝනා මහත්තුරු වෙනුවෙන් මහරෑ යාමයේ දුරගමන් සේවා බස් වාර බොහෝමයක් කලකට ඉහත දී ඇරැඹුණේය. අනුරාධපුරය, පොළොන්නරුව, නුවරඑළිය ආදී දුරබැහැර සිට කොළඹ එන බස් බොහෝමයක් ගමන් අරඹන්නේ මැදියම් රැය පසුවූ විගසය. දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකෙරෙන්නට පෙර කතරගම, හම්බන්තොට, තංගල්ල, මාතර ආදී ප්‍රදේශ බොහෝමයක ජනතාව ද කොළඹ එන්නට පිටත් වුණේ මැදියම් රැයේය. එළිය වැටීගෙන එනවිට ඔවුන්ට ගෙන්දගම් පොළොවේ පයගසන්නට පුළුවන. ඒත් අධිවේගී මාර්ගය හා දුම්රිය මාර්ගය බෙලිඅත්තට දීර්ඝ කළ පසු දුරගමන් සේවා බස්වල කොළඹ ගියේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිසකි. ඊට අනුලෝමව සාමාන්‍ය ගමන් මාර්ගයේ ධාවනය කෙරෙන බස් රථ ප්‍රමාණය ද අඩු වුණේය.
එහෙත් අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන බස් ගණන එන්න එන්නම වැඩිවුණේය. සාමාන්‍ය මාර්ගයේ යනවාට වඩා අධිවේගයේ යනවිට රියැදුරන් මෙන්ම මගීන් ද නීති රීති රැසක් පිළිපැදිය යුතුවන්නේය. සාමාන්‍ය මාර්ගයේ දී අවශ්‍ය නැති වුණද අධිවේගී මාර්ගයේ යන්නේ නම් බස්වල යන මගීන් පවා ආසන පටි පැලඳීම අත්‍යවශ්‍යය. ඊට හේතුව පැයට කිලෝමීටර සීයක උපරිම වේගයකින් අධිවේගයේ බස් ධාවනය කෙරෙන නිසාය. උපරිම වේග සීමාව පැයට කිලෝමීටර සීය වුණද ඒ සීමාව පන්නා ධාවනය කරන බස් ද නැතුවාම නොවේ. කෙසේ නමුදු මේ තරම් වේගයෙන් ධාවනය වන බසයක් යම් හෙයකින් අනතුරට ලක්වුවහොත් මගීන්ට වන හානිය වැළැක්වීම ආසන පටි පැලඳීවීමේ අරමුණය. අධිවේගී මාර්ගය ඇරැඹුණු කාලයේ මේ නීති සියල්ලම තිතටම ක්‍රියාත්මක වුණේය. එහෙත් දැන් ආසන පටි පලඳින මගියකු දක්නට නැත්තේය. අධිවේගයට ඇතුළු වන සහ පිටවන ස්ථානයේ රථවාහන පොලිස් නිලධාරින් සිටියත් ඔවුන්ට ද මේවා පෙනෙන්නේ නැත.
කෙසේ නමුදු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල පෙන්වා දෙන්නේ අධිවේගී මාර්ග නීති කිසිවක් වෙනස් වී නැති බවය. ආසන පටි පැලඳීමේ නීතිය පවා තවමත් ක්‍රියාත්මක බවත් ඇතැම් අවස්ථාහිදී පොලිස් නිලධාරින් මේවා පරීක්ෂා කරන බව ද ඔහු කියන්නේය. ඔහු එසේ කීවද අධිවේගයේ ධාවනය වන ඇතැම් බස්වල ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන්නේය. ආසන නොමැති මගීහු බස් රථය තුළ බිම හිඳගෙන යති. තවත් පිරිසක් සිටගෙන යති. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පමණක් නොව හලාවත, පුත්තලම සිට කොළඹ දක්වා අධිවේගී මාර්ගය හරහා ධාවනය කරන ඇතැම් සුඛෝපබෝගී බස් අනුගමනය කරන්නේද මේ පිළිවෙතමය. සුඛෝපබෝගී බස් රථවල ද ආසන ගණනට මගීන් නග්ගවා ගතයුතු වුවත් බසයේ මැද පිහිටි “ජම්පින්” සීට් නවා මගීන් පිරිසක් සිටගෙන රැගෙන යති. එලෙසින්ම ඒවා අධිවේගී මාර්ගයේ ද ධාවනය කරයි.
එමතු නොව දීර්ඝ සතිඅන්ත නිවාඩුවල දී අධිවේගී මාර්ගයේ ධාවනය නොකරන සාමාන්‍ය බස් පවා අධිවේගී මාර්ගයේ මගීන් රැගෙන යන්නේය. අධිවේගී මාර්ගයේ ගමන් ගාස්තුවට වඩා අඩු ගාස්තුවක් ඒවායෙන් අය කරන්නේය. ප්‍රධාන බස්නැවතුම්පොළින් මගීන් නග්ගවා ගන්නා මේ බස් රථ කිසිවකුට පෙනෙන්නේ ද නැත. අධිවේගී මාර්ගයක ධාවනය කරන්නට තරම් සුදුසු තත්ත්වයේ තිබෙන්නේදැයි කියන්නට ඒවාට ගොඩවන මගීන්වත් දන්නේ නැත. එහෙත් මේවා අහන දකින මගීන් කියන්නේ ඊළඟ මහා අනතුර අධිවේගී මාර්ගයක දී වියහැකි බවය. කෙසේ නමුදු රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල පවසන්නේ ආසන ගණන ඉක්මවා අධිවේගී මාර්ගයේ මගීන් රැගෙන යාම නීති විරෝධී කටයුත්තක් බවය.
“අධිවේගී මාර්ගයේ ධාවනය කරන බස් රථවලට ආසන ගණනට පමණයි මගීන් රැගෙන යන්න පුළුවන්. නීති උල්ලංඝනය කරන බස් ගැන තොරතුරු දෙනවා නම් අපි අත්අඩංගුවට ගැනීම් කරනවා. මහජනතාව මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ. අපි කොච්චර කිව්වත් සමහරු ගොඩක් වෙලාවට නොසැලකිලිමත් විදියටයි වැඩ කරන්නේ. නෝමල් බස්වලට හයිවේ යන්න අවසර නැහැ. රූට් එක නැතුව කොහොමත් යන්න බැහැ. හිතූ හිතූ ගණන්වලට ටිකට් කඩන්නත් බැහැ. එය නීති විරෝධී වැඩක්.”
වන්දනාවේ යන ඇත්තන් වෙනුවෙන් ද දුරගමන් සේවා බස් ධාවනය කෙරෙන්නේය.
අනුරාධපුරය, පොළොන්නරුව සහ කතරගම ආදී පූජා නගර කේන්ද්‍ර කරගෙන බොහෝමයක් දුරගමන් සේවා බස් ධාවනය වන්නේය.
කෙසේ නමුදු දුරගමන් සේවා බස්රථවල රියැදුරන් අධික වේගයෙන් නොසැලකිලිමත් අයුරින් රිය ධාවනය කිරීම බොහෝමයක් රිය අනතුරුවලට හේතුවක් බව කලක පටන් පොලිසිය කියන කතාවය. පමණ ඉක්මවා මගීන් රැගෙන යාමද දුරගමන්සේවා බස්රථ අනතුරට ලක්වීමට තවත් එක් හේතුවක්ය. බස් රථ ප්‍රමාණය වැඩි කළ යුතු බව මගීන් තමන්ගේ පැත්තෙන් කියන කතාවය.
රාත්‍රි කාලයේ දුරගමන් සේවා බස් රියැදුරන් හෙරොයින්, ගංජා සහ අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන බවට මගීන් කරන අනෙක් චෝදනාවය. බීමතින් රිය පදවන රියැදුරන් අත්අඩංගුවට ගන්නට පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කළත් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියැදුරන් එසැණින් හඳුනාගන්නට තවමත් අපේ රටේ ක්‍රමයක් නැත්තේය. මත්ද්‍රව්‍ය භාවිත කළ රියැදුරන් හඳුනාගන්නට අධිකරණ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කළයුතු වන්නේය. එහෙත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල පැවැසූයේ මෙවන් රියැදුරන් හඳුනාගැනීමේ කට්ටල මාස දෙකක් ඇතුළත ගෙන්වීමට පොලිස්පතිවරයා සූදානම් වන බවයි.
රාත්‍රි කාලයේ ධාවනය කෙරෙන දුරගමන් සේවා බස් රථ පරීක්ෂා කර නීති කඩන රියැදුරන් අල්ලන මෙහෙයුමක් ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් අනුව දින දෙක තුනකට ඉහතදී ආරම්භ වුණේය. පොලිසියේ සූදානම රිය අනතුරු බහුල ස්ථාන හඳුනාගෙන ඒ ස්ථානවලට පොලිස් කණ්ඩායම් යොදවා බස් පරීක්ෂා කරන්නටය. යතුරුපැදි සංචාර ඒකකවල නිලධාරින්ටත් දැන් බස් පසුපස හඹා යන්නට වී ඇත්තේය.
අරුණ