මහබැංකු විදේශ සංචිත වලට උන නොසිතූ දේ
2024 වර්ෂයේ මැයි මාසයේ සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ මහ බැංකුව සතු විදේශ සංචිත 47%ක පමණ වර්ධනයක් පෙන්නුම් කරන බව නොවැම්බර් මස 12 වන දින නිකුත් කරන ලද මහ බැංකු වාර්තාවකින් අනාවරණය වන බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යානය පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සම ඊයේ (17දා) කරන ලද විමසීමකදී සඳහන් කරන ලදී.
මෑත කාලයේදී මහ බැංකුව සමග විදේශ සංචිත ඉහළ අගයක් පැවතුණත් 2020 ජනවාරි මස 31වැනිදා වන විට එය ඩොලර් මිලියන7,513ක් පමණ විය.
ඉන්පසුව එම අගය දිගින් දිගටම පහළ ගිය අතර, 2022 වර්ෂයේ ජූලි මාසය වන විට ඩොලර් මිලියන 1,854ක් දක්වා පහළ යාමක් පෙන්නුම් කරනු ලැබීය.
එහෙත් 2022 ජූලි මාසයෙන් පසුව එය නැවතත් ක්‍රමයෙන් ඉහළ ගිය අතර, 2023 වර්ෂයේ දෙසැම්බර් වන විට ඩොලර් මිලියන 4,392ක් දක්වාත්, 2024 ඔක්තෝබර් මාසයේ අවසන් වන විට ඩොලර් මිලියන 6,467ක් දක්වාත් ඉහළ යාමක් දැකගත හැකිය.
කෙසේ වුවද මේ තුළ චීනයෙන් හුවමාරු ක්‍රමයට ලබාගත් ඩොලර් මිලියන 1,400කට ආසන්න මුදල් ප්‍රමාණයක් පවතින බැවින් සත්‍ය වශයෙන්ම මහ බැංකුවට භාවිත කළ හැකි සංචිත පවතිනුයේ ඩොලර් මිලියන 5,000කට ආසන්න ප්‍රමාණයක් බව මහාචාර්යවරයා පැවසීය.
මෙම කලාපයේ අනෙකුත් රටවල් හා සලකා බැලීමේදී බංගලාදේශයේ මහ බැංකුව සතුව පවතින විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 25,500ක් පමණ වන අතර, නේපාලයේ එය ඩොලර් මිලියන 18,400 ක් ලෙස දැක්වෙයි.
ලෝකයේ ඉහළම සංචිත ප්‍රමාණයක් පවතින රටවල් ලෙස චීනය, ජපානය, ස්විට්සර්ලන්තය, ඉන්දියාව හැඳින්විය හැකි බව මහාචාර්යවරයා සඳහන් කරන ලදී.
චීනයේ ඩොලර් බිලියන 3571ක්, ජපානය ඩොලර් බිලියන 1,239 ක්, ස්විට්සර්ලන්තය ඩොලර් බිලියන 953ක්, ඉන්දියාව ඩොලර් බිලියන 682ක්, රුසියාව ඩොලර් බිලියන 628ක්ද පවතින බවද එම මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. මේ අනුව මෙම රටවල් ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් පවතින රටවල් ලෙස හැඳින්විය හැකිය.
චන්දන සමරවික්‍රම
උපුටාගැනීම:අද වෙබ්පිටුව