සෙත් ශාන්තියක් කරගන්න පූජකයාට පවුම් 21ක රන් ආභරන දුන් කතට තරු විසිවෙයි
අසරණ අහිංසක මිනිසුන් මුළාකර ඔවුන් සතු මිල මුදල්, රන් ආභරණ මෙන්ම වටිනා දෑ රැගෙන පලා යන තක්කඩි කට්ටඩියන්, කපුවන් ගැන අසා නැති කෙනෙක් නැති තරම්ය. මේ තක්කඩියන් හොර දේවාල තැන තැන අටවාගෙන ශාස්ත්‍ර කියමින් මිනිසුන් මුළාවේ දමන්නේ මහ දවාලේය. එවැනි තක්කඩියන්ට, කපුවන්ට හසුවී ජීවිතය පවා නැති කරගත් පුද්ගලයන් මෙන්ම ඇඳිවත පමණක් ඉතුරුකර ගත් අය ගැනද ඕනෑතරම් කතා අසන්නට ලැබේ.
තක්කඩි කට්ටඩියන්ට බොහෝ දෙනෙකු රැවටෙන්නේ මිථ්‍යා විශ්වාස මතම කටයුතු කරන නිසාය. අම්මලා තාත්තලා මුළාවේ දමමින් අහිංසක දරුවන් පවා බිල්ලට ගන්නා තක්කඩි කට්ටඩියන් ගැන තොරතුරු පසුගියදා වාර්තා විය.
මෙවැනි වංචනිකයින් ගැන පොලිසිය සිදු කරන ලද විමර්ශන ගණනාවකදී හෙළි වී ඇත්තේ මේ තත්කඩියන්ට රැවටෙන අය බොහෝ දෙනෙක් මිථ්‍යා විශ්වාස මතම දැඩි ලෙස කටයුතු කළ අය බවයි. හොර ශාස්ත්‍රකාරයන් කියන දේ අසා තමන්ගේ අතේ ඇති මිල මුදල් රන් ආභරණ නැතිකර ගත් අය ගැන ද පසුගියදා අසන්නට ලැබිණි.
මිථ්‍යා විශ්වාසවලම එල්බ සිටින බොහෝ දෙනෙක් තක්කඩි කට්ටඩියන්ට හසුවන්නේ ඉතා ඉක්මනිණි. මේ අයගේ මෝඩකම ඉතා ඉක්මනට ග්‍රහණය කරගන්නා තක්කඩි කට්ටඩියන්ට එවැනි පුද්ගලයන් ‘සුද්ද’ කිරීමට ගත වන්නේ සුළු කාලයකි.
මිනුවන්ගොඩ පැත්තේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකුට අයත් රන් ආභරණවලට යාතිකාවක් සිදුකර ඒවා ආරක්ෂා කරන මුවාවෙන් රුපියල් ලක්ෂ ගණනක් වටිනා එම රන් ආභරණ සොරකම් කළ ‘කපු නෝනා‘ කෙනෙකු ගැන පසුගියදා තොරතුරු වාර්තා වූයේ මිනුවන්ගොඩ පොලිසියෙනි.
එම සිද්ධියේ උණුසුම මැකී යාමටත් කලින් ඊට සමාන තවත් සිදුවීමක් වාර්තා වූයේ වැල්ලවත්ත පොලිසියෙනි. මේ කතාවටත් මුල් වන්නේ තක්කඩි කට්ටඩියෙකි.
මේ කතාවේ මුල මැද අග පෙළ ගැසෙන්නේ මෙසේය.
වැල්ලවත්තේ 29 පටුමගේ පදිංචි ධනවත් කතක් දෙහිවල ප්‍රදේශයේ පිහිටි කෝවිලක පූජකයකු හමුවීමට යන්නේ පසුගිය දිනකය. ඒ තමා මුහුණපා ඇති ග්‍රහ අපලවලින් නිදහස් වීම සඳහා යාතිකාවක් සිදුකර ගැනීම සඳහාය.
ඉන් අනතුරුව අදාළ කතගේ නිවෙසට යන පූජකයා යාගහෝම සිදුකර කාන්තාවට පවසන්නේ නිවෙසේ තිබෙන රන් ආභරණවලට ද සෙත්ශාන්තියක් කර ඒවා ආරක්ෂා කළ යුතු යැයි කියාය. ඉන් අදාළ කාන්තාවගේ අපල උපද්‍රවද දුරු වන බව ඔහු පැවැසීය. මේ පූජකයාගේ ගැටයට හසුවන කාන්තාව ඇය සතු රන් තලියක්, රන් මාලා දෙකක් ඇතුළු රන් පවුම් 11ක් වටිනා භාණ්ඩ පූජකයා අතට පත්කරන්නේ අනතුරුවය. එම රන් භාණ්ඩ මල්ලක දමාගෙන කෝවිලට ගෙන යන පූජකයා ඒවා නැවත මේ කාන්තාවට ලබා නොදී මඟ හරින්නේ ඇය ඒවා ඉල්ලන අවස්ථාවේදී ඒ සඳහා විවිධ හේතු දක්වමින් ඇය මඟ හරිමිනි.
කාලය මෙසේ ගෙවී යද්දී මාස දෙකකට පමණ පසුව අදාළ පූජකයා කාන්තාව හමුවීමට දෙහිවල සිට වැල්ලවත්ත 29 පටුමගේ නිවෙසට පැමිණෙන්නේ පසුගියදාය.
පූජකයා හදිසියේ නිෙවසට පැමිණීම පිළිබඳව කලබල වූ කාන්තාව ඔහුගෙන් විමසන්නේ කලින් දැනුම් නොදී එලෙස තම නිෙවසට හදිසියේ පැමිණියේ ඇයි ද යන්නය. පූජාව සහ සෙත් ශාන්තියක් සිදු කළ යුතු නියම දිනය එදින බැවින් තම නිෙවසට පැමිණි බව පූජකයා කියන්නේ නැවත වරක් එම කාන්තාව රවටමිනි.
වැල්ලවත්ත 29 පටුමගේ මේ කාන්තාව ජීවත් වූයේ සිය බාල දියණිය සමඟ වුවත් එදින දියණිය නිවෙසින් බැහැර ගොස් සිටි බැවින් එහි සිටියේ කාන්තාව පමණි.
ශාන්තිකර්මය සිදු කිරීම සඳහා රතු පැහැති රෙදි යාරයක් රැගෙන එන ලෙස පූජකයා කාන්තාවට කියන්නේ ඉන් අනතුරුවය. පූජකයා විශ්වාස කළ කාන්තාව ඔහු නිවෙසේ සිටියදී අසල වෙළෙඳසලකට යන්නේ රතු රෙදි යාරයක් රැගෙන ඒම සඳහාය.
කාන්තාව නිවෙසින් බැහැර ගිය අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ පූජකයා නිෙවසේ කාමරය වසා තිබූ අල්මාරියක් කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 23ක් පමණ වටිනා රන් පවුම් 10ක පමණ ආභරණ සොරකම් කරගෙන පලාගොස් තිබුණි.
තමන්ගේ ඉතිරි රන් බඩු ටිකටද හොර පූජකයා ‘වැඩේ දී’ ඇති බව දැනගත් කාන්තාව වහාම ඒ පිළිබඳව වැල්ලවත්ත පොලිසියට පැමිණිලි කළාය. පොලිස් පරීක්ෂණ ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.
වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහඳවලගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උදය කුමාර ඇතුළු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කරන්නේ පූජකයා සිටින දෙහිවල ප්‍රදේශයට යාමෙන් අනතුරුවය.
මේ හොර පූජකයා ගැන තොරතුරු සොයන පොලිස් කණ්ඩායම හෙළිකර ගන්නේ ඔහු කුලී වාහනයක රියැදුරු ලෙස ද සේවය කරන බවය.
ඒ අනුව සිදු කළ විමර්ශනයේදී සැකකාර පූජකයා අත්අඩංගුවට ගැනිණි. ඔහුගේ වාහනයේ රියදුරු ආසනය ළඟ කාපට් එක යට සඟවා තිබුණ පවුම් 10ක රන් ආභරණ සහ කාන්තාවගේ නිවෙසින් ඊට පෙර ගෙන ගිය පවුම් 11ක රන් ආභරණ සොයා ගැනීමට පොලිසියට හැකි විය. මේ රන් ආභරණවල වටිනාකම රුපියල් විසිතුන් ලක්ෂයක් පමණ බවද හෙළි විය.
අත්අඩංගුවට ගැනුණ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.
වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහඳවලගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උදය කුමාර ඇතුළු කණ්ඩායමක් විමර්ශන සිදු කරන ලදි.
දීපාල් සමරසේකර