පොලොන්නරුවේ ප්‍රසිද්ධ සහල් මෝලක ලොරි වලින් කල මහා ජාවාරම කොටු වේ
පොළොන්නරුවේ ප්‍රසිද්ධ සහල් නිෂ්පාදන ආයතනක ලොරි රථයකින් සහල් සමග කුඹුක් ලෑලි තොගයක් සඟවා පොළොන්නරුවේ සිට කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් තිබියදී ලද තොරතුරක් අනුව එම කුඹුක් ලෑලි තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු 18 වෙනිදා සවස පොළොන්නරුව දිසා වන කාර්යාලයේ නිලධාරීන් සිදුකර වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
ලොරියේ සහල් මලු අතර සඟවා ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථය, දිසා වන නිලධාරීන් ලුහුබැඳ ගොස් පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වෙන විට කුඹුක් ලෑලි දෙසීය හතලිහකට ආසන්න සංඛ්‍යාවක් ලොරි රථයේ සහල් අතර සඟවා තිබූ බව වැටලීම සිදුකළ වන නිලධාරීන් සඳහන් කළහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොළොන්නරුව සහ ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද වැටලීම සිදුකල වන අඩවි නිලධාරීන් සඳහන් කළහ.
පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ ඇති විශාල කුඹුක් ගස් යන්ත්‍ර සූත්‍රවලින් කපා ඒවා ලෑලි බවට පත්කර දීර්ඝ කාලයක සිට මෙම සහල් නිෂ්පාදන ආයතනය මගින් ලොරි රථවල කොළඹ ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවත්, එය මහා පරිමාණ ජාවාරමක් වශයෙන් සිදුකරගෙන ගොස් ඇති බවට මේ වනවිට කරන ලද මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව පොලොන්නරුව වන ක්ෂේත්‍ර සහකාර කේ.පී.ඒ.අයි. පතිරණ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
පොළොන්නරුව දිසා වන නිලධාරීවරයාගේ සහ පොළොන්නරුව සහකාර දිසා වන නිලධාරිවරයාගේ උපදෙස් මත පොළොන්නරුව අඩවි වන නිලධාරී ඩබ්ලිව්.ඩබ්ලිව්.සී.ජේ.විජේරත්න, පොළොන්නරුව අතිරේක අඩවි වන නිලධාරී බී.එම්.එම්. ආර්.ජයසුන්දර, තමන්කඩුව වැඩ බලන බීට්ටු වන නිලධාරී අයි.පී. ප්‍රේමතිලක, පොලොන්නරුව වන ක්ෂේත්‍ර සහකාර කේ.පී.ඒ.අයි. පතිරණ යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර සැකකරුවන් සහ කුඹුක් දැව තොගය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කුඹුක් ලෑලි තොගය සහ සැකකරුවන් මෙන්ම ලොරි රථය 21 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොළොන්නරුව අඩවි වන කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේය.