ජැන්ඩි පහට ඇදගෙන කෝච්චියෙ කරන අලුත්ම බිහිසුනු ජාවාරම
උසට සරිලන මහතකින් සහ ප්‍රියමනාප පෙනුමකින් යුතු මේ පුද්ගලයා අත්දිග කමිසයකින් සහ දිග කලිසමකින් සැරසී සිටින විට දකින ඕනෑම කෙනෙකු සිතන්නේ උසස් නිලයක් දරන වැදගත් මහතෙකු බවයි. ඔහු දෙස බැලීමේදී ඒ බව මනාව තහවුරු වෙන්නේ ඔහුගේ කඩවසම් බවද එයට එකතු වන බැවිනි.
දිනපතා හිමිදිරියේ අවදි වන ඔහු ජැන්ඩියට ඇඳපැලඳ නිවෙසින් එළියට බහින්නේ ‘ඔෆිස් බෑගයක්’ සහ ලැප්ටොප් පරිගණකයක් බහාලන හිස් බෑගයක්ද අතේ කරේ එල්ලාගෙනය. අගනුවර කාර්යාලයක සැලකිය යුතු නිලයක් දරන කෙනෙකු යැයි දකින ඕනෑම කෙනෙකු සිතන තරමට ඔහුගේ පෙනුම ඉතා වැදගත්ය. බසයෙන් මෙන්ම දුම්රියෙන්ද ගමන්බිමන් යන මේ පුද්ගලයා විශේෂයෙන් කාර්යාල වේලාවන් මෙන්ම පාසල් වේලාවන් ඉලක්ක කරගනිමින් ඔහුගේ වැදගත් ගමන්බිමන් සිදු කිරීම සිරිතය.
කොළඹ නගරයේ ප්‍රධාන ආයතන සහ පෞද්ගලික ආයතනවලට රැකියාව සඳහා යන එන පිරිස මෙන්ම පාසල් ළමුන්ද පටවාගත් දුම්රියට මෙන්ම බස් රථයට ද මොහු ගොඩ වන්නේ ඉතා තදබද අවස්ථාවලදීය. ඔහු අතේ ඇති හිස් බෑගය බස් රථයේ හෝ දුම්රියේ අනෙක් මගීන්ගේ බෑග් අතර තබන ඔහු කල්යල් බලා තමාගේ හිස් බෑගය වෙනුවට වෙන අයෙකුගේ ලැප්ටොප් පරිගණකයක් සහිත බෑගයක් රැගෙන බැස යන්නේ සීරුවටය.
“අංකල්… අංකල්… ඔය මගෙ බෑග් එක…“ සමහර අවස්ථාවලදී හිමිකරුවා ඔහුට එලෙස පවසන අවස්ථාද නැතුවා නොවේ.
“අනේ සොරි පුතා… මට පොඩි වැරදීමක් වුණා… සමාවෙන්න…“
ඔහු මහත්මා ගතියෙන් සමාව ගෙන වරද නිවැරදි කරගන්නේ ඒ ගැන දහස් වර පසුතැවෙන බව පෙන්වමිනි. එවිට කවුරුත් සිතන්නේ ඇත්තටම ඔහුට වැරදී ඇති බවය.
මෙම පුද්ගලයාව පසුගියදා කළුතර නගරයේදී අත්අඩංගුවට පත්වන්නේ කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකදීය. ඒ හෙරොයින් මිලි ග්‍රෑම් 2600ක් සමඟය.
“සර්… මේ අර ‘ලැප්’ හොරකං කරන පොර නේද…?“
“ඔව් ඔව්… ගිය අවුරුද්දේ අග අපි මිනිහව ඇල්ලුවේ ලැප් 14ක් එක්ක…“
ඔහු දුටු විටම නිලධාරින්ගේ මතකයට ආවේ පසුගිය වසරේ අවසන් කාලයේ දී ද ලැප්ටොප් පරිගණක සොරකම් කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන බවය.
සැකකරුගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට කටයුතු කළේ ඒ අනුවය. මේ පුද්ගලයා සිදුකළ ලැප්ටොප් පරිගණක හොරකම් හතක් පිළිබඳව සහ ඔහු විසින් සොරකම් කරන ලද ජංගම දුරකතන පහක් පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ ඉන් පසුවය. ඔහු විසින් මේවා විවිධ පුද්ගලයන්ට අලෙවිකර තිබියදී සොයා ගැනීමට පොලිසිය කටයුතු කරන්නේ අනතුරුවය.
පාණදුර සහ වාද්දුව පොලිසිවල මොහුට විරුද්ධව ලැප්ටොප් පරිගණක සොරකම් පිළිබඳ පැමිණිලි දෙකක් ලැබී තිබූ අතර ඊට අමතරව කළුතර දකුණ පොලිසියට ද මේ පුද්ගලයා නඩු දෙකකට අවශ්‍ය කරන බවට පොලිසිය විසින් තහවුරු කරගෙන තිබේ. අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ද ඔහු අතේ බෑගයක් තිබූ අතර එය ඔහුගේ එකක් බව ද පොලිසිය පවසයි.
හොරණ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52ක් වයසැති මෙම පුද්ගලයා මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී ඇති අතර ඒ සඳහා මුදල් සොයා ගැනීමට මෙම සොරකම් සිදු කරන බවද පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
තමාගේ බෑගය තබා අනුන්ගේ බෑගයක් රැගෙන යාම පුරුද්දක් ලෙස කරගෙන ලැප්ටොප් පරිගණක සොරාගත් මෙම පුද්ගලයාගේ දෑතට අවසානයේ මාංචු වැටුණේ ඒ ආකාරයටය.
කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක නන්දනගේගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී 1 නිශාන්තගේ අධීක්ෂණයෙන් එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව, මෙහෙයුම් දෙක පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ. හිරන්ත, උපපොලිස් පරීක්ෂක උපුල්, සැරයන් 41104 සමන්තිලක, 69479 ප්‍රසන්න, 79335 තුෂාර, පොලිස් කොස්තාපල් රියදුරු 80174 වෙදගේ යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ – හල්තොට සමූහ
උපුටාගැනීම: සිළුමිණ