විදුලි ගාස්තු ගැන අලුත්ම දැනුම්දීමක්
විදුලි ගාස්තු සංශෝධනයක් මේ වසර තුළ සිදුනොවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එම කොමිසමේ ආයතනික සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම එම තත්ත්වයට හේතු වී ඇති බවය.
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගිය සැප්තැම්බර් මස අග මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබීය.
එහෙත් ඔවුන් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු අඩුවීම ප්‍රමාණවත් නොවන බැවින් යළි එම යෝජනා සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබුණි.
අදාළ යෝජනා නොවැම්බර් 08 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙසට කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබුණ ද එම දිනයට යෝජනාවලිය ඉදිරිපත් නොකළ විදුලිබල මණ්ඩලය ඒ සදහා නොවැම්බර් 22 වන දින දක්වා කාලය ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකළේය.
එහෙත් එම දිනයට ද ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා ඉදිරිපත් නොකළ අතර තවත් සති දෙකක කාලයක් ඒ සඳහා ලබාදෙන ලෙස ඔවුන් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත.
ඒ අනුව දෙසැම්බර් මස 06 වන දින දක්වා ලංකා විදුලි බල මණ්ඩලයට කල් ලබාදීමට මහජන උපයෝගීතා කොමිසම සැලසුම් කර ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ දිනයට යෝජනා ඉදිරිපත් කළ ද එම යෝජනා අධ්‍යයනය කර විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රියාවලියට සති 06ත් 8ත් අතර කාලයක් ගත වන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
මෙම තත්ත්වය තුළ විදුලි ගාස්තු සංශෝධනය ලබන වසර දක්වා කල් යනු ඇති බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් ලබන මස 10 වැනිදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසුවේ මේ සම්න්ධයෙන් ලිඛිතව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා දැනුවත් කිරීමට පියවර ගත් බවය.
පසුගිය කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභ ලබා ඇති බැවින් එහි ප්රතිලාභ සේවකයින් වෙත බෙදී යා යුතු බව අදාළ ලිපිය මගින් පෙන්වා දී තිබේ.
විදුලි බල මණ්ඩලය පාඩු ලබන බව පවසමින් වසර දෙකක පමණ කාලයක් ලංකා විදුලි බල මණ්ඩල සේවකයින්ට ප්‍රසාද දීමනා ලබාදීමට පාලනාධිකාරිය පියවර නොගත් බව ද ලංකා විදුලි සේවක සංගමය සිය ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
උපුටාගැනීම: අරුණ වෙබ්පිටුව