වෙළෙඳපොළේ ඇති 90%ක් පොල්තෙල් නොවේ
වෙළඳපොළේ පවතින පොල්තෙල් නමින් අලෙවි කරන සියයට අනූවක් (90%) පමණ තෙල්, පොල්තෙල් නොවේ යැයි පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (17දා) පැවසීය.
මේ වර්ෂය තුළ ආනයනික පොල්තෙල් නමින් තෙල් කිලෝ මිලියන ලක්ෂයක් රටට ආනයනය කර ඇතැයි ද ඔහු කීය.
වෙළඳපොළේ පොල් මිල හා සසඳන විට පොල්තෙල් ලීටරයක් සෑදීම සඳහා රුපියල් 1500ක් පමණ වැයවන බවත්, එවැනි තත්ත්වයකදී ආහාරයට ගතහැකි පොල්තෙල් ලීටරයක් වෙළඳපොළේ රුපියල් 750ක් 800ක් වැනි මිලකට අලෙවි කරන්නේ කෙසේද යන්න පාරිභෝගික අධිකාරිය සොයාබැලිය යුතු බවත් ඒ මහතා ප්රකාශ කළේය.
එම තෙල් පිරිපහදු කිරීම සඳහා භාවිත කරන රසකාරක නිසා මිනිස් පරිභෝජනයට පොල්තෙල් ලෙසින් ගන්නා තෙල්වල බැරලෝහ ඇතුළත් බවත් ඔහු කීය. එම තෙල් කාර්මික තාක්ෂණ ආයතනයට හෝ ලබාදී තත්ත්වය පරීක්ෂා කිරීමට කිසිදු බලධාරියකු කටයුතු කරන්නේ නැතැයි ද ඔහු කීය.
වෙළඳපොළේ මිලදී ගැනීමට පවතින පොල්තෙල්වල මිල, නිෂ්පාදන ආයතනය ඇතුළු කරුණු රැසක් ප්රදර්ශනය කළ යුතු බව පාරිභෝගික පනත මගින් පෙන්වා දී ඇතත් එම උපදෙස් අමු අමුවේ උල්ලංඝනය කරමින් පොල්තෙල් නමින් තෙල් වර්ග අලෙවි කරන බවද බුද්ධික මහතා තවදුරටත් පැවසීය.
චමින්ද සිල්වා
divaina