සමූපෙ ඡන්දෙදි ආණ්ඩුවට නොසිතූ රතු එළියක්
“කෝට්ටේ සමුපකාර ඡන්දයෙන් මාලිමාවට විශිෂ්ට ‘ජයක්’ ෆේස්බුක් හරහා මේ පණිවුඩය දැම්මේ මාලිමාවේ නියෝජ්‍ය ඇමැතිවරයකු වන චතුරංග අබේසිංහය. බැලූ බැල්මට එය සිනහා උපදවන්නකි. ජනාධිපතිවරණය දිනූ, මහ මැතිවරණය තුනෙන් දෙකකින් දිනූ බලසම්පන්න පක්ෂයක නියෝජ්‍ය ඇමැතිවරයකුට සමුපකාර ඡන්දයක් දිනීම පස්වනක් පී‍්‍රතිය ගෙන දෙන පුවතක් වී ඇත. ෆේස්බුක් දාගෙන රටටම කියා සැමරිය යුතු තරම් දිනුමක් වී ඇත. මෙය සොයා බැලිය යුතු තරම් පුවතක් නොවේද? මන්ත්‍රිවරු 159ක් ඉන්නා ආණ්ඩුවකට සමුපකාර ඡන්ද දිනුමක් මහ මෙරක් වී ඇත.
එම පුවතින් පසු තවත් ප්‍රදේශ කිහිපයක සමුපකාර නිලවරණ ගැන සඳහන් විය. ඒවායෙහි සැලකිය යුතු ප්‍රමාණයක් ආණ්ඩුව පරාජයට පත්වීම දක්නට ලැබිණි. ඒ පරාජයන් ගැනද කතාබහ මහ ඉහළින් ප්‍රසිද්ධ කරනු පෙනේ. ඉතිහාසයේ කිසි දිනෙක නොතිබුණු ආකාරයක කතාබහක් සමුපකාර ඡන්දයට ලැබී ඇත. මීට පෙර කවමදාවත් සමුපකාර ඡන්දයට අත්පත්‍රිකා බෙදාගෙන ගෙන් ගෙට ගොස් ඡන්ද ප්‍රචාරණ කටයුතු කර නැත. මේ පාර ඒ වැඩේ ජයටම සිදුවේ. එහි ඇති විශේෂත්වය නම් පවතින මාලිමා ආණ්ඩුවම එයට මුලපිරීමය.
ඇයි ඒ තරමට ආණ්ඩුව සමුපකාර ඡන්දයට උනන්දු. පරදිනවාට බය. මේ ආණ්ඩුවෙ නැග්ම පිළිබඳ මුල් බීජ වැපිරුණේ සමුපකාර ඡන්ද හරහාය. පසුගිය වසරවල පැවැති සමුපකාර ඡන්ද මාලිමාවේ නම ඉහළට එසවුණේ ජය පිට ජය ලබමිනි. මාලිමාව ජයග්‍රහණය පිළිබඳ ශක්තිමත් සිහින දකින්නට පෙලඹුණේ සමුපකාර ඡන්ද හරහාය. සමුපකාර ඡන්ද ජයග්‍රහණය යනු මාලිමාවේ ඉදිරි ජයග්‍රහණයේ සංකේතය බව ඔවුහු තදටම විශ්වාස කළේය. ඒ විශ්වාසයේද පලුද්දක් නොවීය. ජයග්‍රහණය අන් කිසිදු පක්ෂයක් ඉතිහාසයේ නොලැබූ තරම් මාලිමාව ලැබීය.
එවන් වටපිටාවක මාලිමාවේ ජයග්‍රහණයට දින සියය පසුවන තැන පැවැත්වෙන සමුපකාර ඡන්දවලින් ආණ්ඩුව පරදින්නට පටන් ගෙනය. දැන් ඉහත විශ්වාසයම ආණ්ඩුවට පාරාවළල්ලක් වී ඇත. එදා සමුපකාර ඡන්ද දිනීම තම දේශපාලන නැග්මක් ලෙස සිතූ අයම මේ පරාජය මහ බැස්මක ආරම්භය ලෙස සිතන්නට පටන් ගෙනය. මහ මැතිවරණයකදී යොදන බලය, ශක්තිය සමුපකාර ඡන්දවලටත් යොදන්නට ආණ්ඩුව පටන් ගෙනය. සමුපකාර ඡන්දය මේ තරම් මාතෘකාවක් වී ඇත්තේ ආණ්ඩුව මෙය මැතිවරණ සුරුවමක් ලෙස ඇදහූ නිසාය. විපක්ෂයේද සියලු පක්ෂ එකමුතු වී සමුපකාර ඡන්දයේදී ආණ්ඩුව පරදවන අයුරක් පෙනේ. ඒ ආණ්ඩුවේ ප්‍රබල විශ්වාසයක් ලෙස මෙය ඇති බව ඔවුන් දන්නා නිසාද නැතහොත් තමන් අන්තයටම වැටී ඇති මොහොතක සමුපකාර වැනි ප්‍රාථමික ඡන්ද පවා පැරදීම විපක්ෂයේ හයිය දියවී යෑමට ඇති ඉඩ තවත් වැඩි නිසාද යන්න ප්‍රශ්නාර්ථයකි.
කොහොම වුවත් ආණ්ඩුවේ ජයග්රාහි මානසිකත්වය සෙලවිය හැකි ඡන්දයක් බවට සමුපකාර ඡන්දය පත්ව ඇති බව ආණ්ඩුවේ අයගේ කියුම් කෙරුම්වලින්ම පැහැදිලිය. ඔවුන්ට මේ ඡන්ද පවා දිනිය යුතුම මහ ඡන්ද වී ඇත. අද ආණ්ඩුව සිටිනුයේ වැසිකිළි ටෙන්ඩරයක් පවා ආණ්ඩුව පරාජය විය යුතු නැති බව සිතන අධිමානයක. හොඳින් හෝ නරකින් දිනන්නට උත්සාහ කරන සමුපකාර ඡන්ද කියන්නෙ ඒ යථාර්ථයය.
අබුද්දස්ස කාලේ
ඡන්දයක් නොවිය යුතුම සමුපකාර ඡන්දය අද වන විට මහ පරිමාණ ඡන්දයක් වී ඇත. සමුපකාරවලට සාමාජිකයන් පත්කර ගැනීම වසර තුනකට සැරයක් සිදුවේ. මේ සාමාන්‍ය සමාගමක අධ්යක්ෂවරු පත්කර ගැනීමේ ක්‍රියාවලියකට සමාන සිද්ධියකි. සමිතියේ සාමාජික පිරිස අනුව පත්කර ගත යුතු අධ්යක්ෂ මණ්ඩලය (සමුපකාරය පවත්වාගෙන යෑමට) තීරණය වේ. මහ සභාවේ ඡන්දයෙන් මෙම සාමාජිකයන් පත්කර ගැනීම සිදුවේ. මෙයට දේශපාලනය ගාවා ගැනීම කිසිසේත්ම නොකළ යුතු බව සමුපකාර පනත්වල සඳහන්ය. කොටින්ම ප්‍රාදේශීය මන්ත්‍රිවරුන්ට මෙම තනතුරුවලට ඉදිරිපත්වීම පවා තහනම්ය. එහෙත් අද තම පක්ෂ නියෝජිතයාට ඡන්දය ඉල්ලා පත්‍රිකා බෙදන තැනට තත්ත්වය තල්ලු වී ඇත. තම දේශපාලන හයිය පෙන්වන තැනක් බවට සමුපකාර ඡන්ද පත්වී ඇත. මේ බොහෝ සමුපකාර වැඩකට ඇති ඒවා නොවේ. ඇතැම් ඒවා ඉතා හොඳ තත්ත්වයේ පවතින බවද කිව යුතුය. උදාහරණයක් ලෙස හෝමාගම සමුපකාරය ගත හැකිය. එය ඉතාම සක්‍රියව පවත්වාගෙන යන්නකි. එහි මාලිමා පරාජය තදට දැනෙන්නට වූවකි. විශාල සාමාජික පිරිසක් සිටින ඉතා හොඳට පවත්වාගෙන යන එවැනි සමුපකාරයක ඡන්ද පරාජය වූ සැණින් ආණ්ඩුව හිතනුයේ සමස්ත හෝමාගම ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති ගානටය. තත්ත්වය දරුණු වී ඇත්තේ එබැවිනි. ආණ්ඩුව දැන් පරාජයක කෙඳිරියක් හෝ අහන්නට බයය. මේ උදාවී ඇත්තේ එවන් වටපිටාවකි.
සමුපේ දුරයි
අද අපි සමුපකාරය ගැන කතා වනුයේ මේ ඡන්ද නිසාය. එහෙත් මීට දශක හතර පහකට පෙර සමුපකාර යන්න මෙරට තුළ ඉතාම ජනප්‍රිය වදනකි. 70-77 සමයේ මෙරටේ භාණ්ඩ හිඟයක් ඇති වුණු අවස්ථාවේ එම විවිධාකාර භාණ්ඩ මිලදී ගත හැකි එකම තැන වූයේ සමුපකාරයය. පෝලිම් යුගය හා බැඳුණු අනෙක් නම සමුපකාරයය. පෝලිම නිර්මාණය වුණේම එකල සමුපකාරයටය. පෝලිම නැති වන විට සමුපකාර වදනත් අෑතින් ඇහෙන තත්ත්වයට පත්විය. සමුපකාරයට පමණක් සින්න වූ බඩු භාණ්ඩ සෙසු කඩ සාප්පුවලද දක්නට ලැබිණි. අදත් ආණ්ඩුව බලෙන් ජනතාවට දෙන්නට උත්සාහ කරන බොහෝ දේ ඇත්තේ ‘සතොස’ තුළය. එදා සමුපකාරයට තිබූ බලය අද සතොස අල්ලා ගෙන ඇත. ඒ නිසාම කලක් ජනයාගේ අවශ්‍යතා රැසක් සපුරාලූ ස්ථානයක් බවට පත්වූ සමුපකාරය අද ජනතාවගෙන් දුරස් වී ඇත.
අතීතේ
මේ ඡන්ද ගැන කතා වනුයේ ණය දෙන සමිති හරහාය. 1904 වසරේදී ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා කෘෂි කාර්මික සංගමය පිහිටුවූ බව ඉතිහාසයේ සඳහන්ය. එම සංගමය ආරම්භ කොට දෙවසරක් ගෙවෙන කල ග්‍රාමීය ණය ක්රමයක අවශ්‍යතාව තදින් මතුවී ඇත. ඒ හේතු මත 1906දී කෘෂිකාර්මික සංගමයේ දුම්බර ශාඛාව මඟින් ණය දෙන සමිතියක් ආරම්භ කර ඇත. ඒ තෙල්දෙණියේදීය. එය ලංකාවේ ණය දෙන සමුපකාර ක්රමයේ ආරම්භය ලෙස සඳහන්ය.
පනත එයි
1906 ආරම්භව ක්‍රමයෙන් වර්ධනය වූ මෙම සමුපකාර සමිති අධීක්ෂණය කරමින් නිසි මඟපෙන්වීමක් ලබාදීම සඳහා නීතිරීති මාලාවක අවශ්‍යතාව මතුවිය. ඒ අනුව 1911 අංක 7 දරන සමුපකාර සමිති ආඥා පනත ලියාපදිංචි කරනු ලැබීය. 1912 වසරේ නොවැම්බර් මාසයේ එවකට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විදිහට කටයුතු කළ පොන්නම්බලම් අරුණාචලම් අතින් මුල්ම වරට සමුපකාර සමිතියක් ලියාපදිංචි කිරීම සිද්ධ වී ඇත. ඉන්පසු රාජ්‍ය මැදිහත්වීම මත සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් නම් තනතුර ඇති විය. 1930 වන තෙක්ම එම තනතුර සඳහා පත්කරන ලද්දේ එවකට සිටි කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාය.
ව්‍යාප්තිය පැතිරේ
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පැවැති සමුපකාර සමිතිවල සංවිධාන කටයුතු සිදුකිරීම සඳහා ගම්මුලාදෑනීන්ගේ සහාය ලැබිණි. ඒ අනුව ගම්මුලාදෑනි කොට්ඨාසයකට සමිතියක් බැගින් පිහිටුවනු ලැබීය. 1916දී ආරම්භ වුණු ප්‍රාදේශීය ණය සහ සංවර්ධන අරමුදල මඟින් සමිතිවලට ණය මුදල් සැපයීම සිදුවිය. සමුපකාර ක්රමයේ මූලික අදියරේදී ආරම්භ වුණු ණය දෙන සමිති මඟින් පසුව නිෂ්පාදන අවශ්‍යතා සැපයීමද ආරම්භ කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් විදිහට 1921දී ද්විතීය සමිති ලියාපදිංචි කළ හැකි ලෙස සමුපකාර ආඥා පනත සංශෝධනය කරනු ලැබ ඇත. එතැන් සිට ඉදිරියට ගිය සමුපකාර සමිති එච්.කේ. කැම්බල් රෙජිස්ට්‍රාර් තනතුරට පත්වීමත් සමඟ ඉතාම සාර්ථක වුණා. 1926දීය. සමිතිවලට ණය මුදල් නිර්දේශ කිරීම ආරම්භ වුණේ කැම්බල් යටතේය.
“කොහොම වුණත් වෙන රටවල සමුපකාර මැතිවරණයට වඩා ලංකාවේ සමුපකාර ක්‍රමය වෙනස් හැඩගත් බවක් පෙනෙන්නට ඇත. විෂය ක්ෂේත්රයන් ගණනාවකට මෙය ව්‍යාප්ත වනු දක්නට ලැබිණි. මින්නේරිය වී අලෙවි සමිතිය, යාපනය මලයාලම් දුම්කොළ සමිතිය, මුලායි සමුපකාර රෝහල් සමිතිය ඒ අතර ප්‍රධාන වේ.
1930 ඔක්තෝබර් 01 වැනිදා සමුපකාර දෙපාර්තමේන්තුව ස්ථාපනය කරනු ලැබූ අතර එහි ගෞරවය හිමි වන්නේද කැම්බල්ටමය. කැම්බල්ගෙන් පසු ඒ තැනට ආ එච්. කැල්චට් ද සමුපකාර ක්‍රමය දියුණු කිරීමට විශාල දායකත්වයක් සැපයූ බව නොකියා බැහැ. එය විවිධ ආකාරයට රට පුරාම ව්‍යාප්ත වන්නට විය. එයට ඔහු දියත් කළ විවිධ වැඩසටහන් හේතු වූ බව දක්නට ඇත.
එයින් වසර ගණනාවකට පසු එනම් 1957දී සමුපකාර කඩ සමිති සහ වෙනත් අරමුණු වෙනුවෙන් පිහිටුවා තිබුණු සමිති ඒකාබද්ධ කරමින් විවිධ සේවා සමුපකාර සමිති පිහිටුවනු ලැබීය. එලෙස ආරම්භ කළ විවිධ සේවා සමුපකාර සමිති රැසක් අදටත් දක්නට ලැබේ. එදා පියවරෙන් පියවර ඉදිරියට ඇදුණු සමුපකාර ව්‍යාපාරයට නව පණක් ලැබුණේ 1960 ජූලි මාසයේ පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ සමුපකාර අමාත්‍යවරයා වූ ටී.බී. ඉලංගරත්නගෙනි.
1961දී ටි.බී. ඉලංගරත්න සහ පිලිප් ගුණවර්ධනගේ මැදිහත් වීමෙන් මහජන බැංකුව ආරම්භ විය. එහිදී මහජන බැංකු පනත අනුව බැංකුවට පැවරී තිබුණු කාර්යයන් අතර සමුපකාර සමිතිවලට, පිළිගත් සමිතිවලට සහ ගොවිකාරක සභාවලට මුදල් හා වෙනත් ආධාර සැපයීමක් සිදු විය. එවකට සමුපකාර ව්‍යාපාරයේ පියා යන විරුදාවලිය ලබා සිටි වින්සන්ට් සුබසිංහ මහජන බැංකුවේ මුල්ම සභාපතිවරයා ලෙසද පත් විය.
60 දශකයෙන් ඉතාමත්ම ශීඝ්‍ර දියුණුවක් ලැබූ සමුපකාර ව්‍යාපෘතිය 70දී බලයට පත්වූ සමගි පෙරමුණ රජය යටතේ තවත් පුළුල් විය. අප මුලින් සඳහන් කළ තත්ත්වයද නිර්මාණය වුණේ මේ කාලයේදීය.
පරිහානිය පටන් ගැන්ම
මේ සමිති ආරම්භ කළ මුල් අවධියේ අදාළ ප්‍රදේශයේම ජීවත් වුණු පුද්ගලයන් ඒවායේ නිලතල දරනු ලැබීය. එහිදී ඔවුන්ට ඒ සඳහා කිසිදු ගෙවීමක් සිදු නොවීය. එය හුදෙක් ගරු තනතුරක්ම විය. ඒත් පසුකලෙක එම තනතුරුවලට රජයෙන් වැටුප් ලබන නිලධාරීන් පත් විය. එහිදී සමුපකාර ක්ෂේත්රයේ රැකියා දේශපාලන හිතවත්කම් මත ලබාදීමේ ක්‍රමය කරළියට ආහ. දේශපාලන අත පෙවීමත් සමඟ තත්ත්වය නරක අතට හැරෙන්නට විය.
අනෙක් අතට 77 හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමය හරහා තරගකාරි වූ වෙළෙඳපොළට මුහුදීමටද සමුපකාරවලට නොහැකි විය. ඒ අනුව මෙම ක්‍රමය තව තවත් කඩා වැටිණි. 1989දී එය පළාත් සභා විෂයයක් බවට පත්විය. කාලයත් සමඟ සමුපකාර සමිති කිසිදු ඉදිරි දැක්මක් නැති අකාර්යක්ෂම දේශපාලන අවශ්‍යතා මතම දුවන තත්ත්වයට පත් විය. වර්තමානය වන විට සමුපකාර සහ සාමාන්‍ය ජනයා අතර ඇති සබඳතාව බොහෝ අසාර්ථකය. නැවත සමුපකාර ක්‍රමය ශක්තිමත් කරනවා කීවද ජනතාව සිටිනුයේ ඒවා ඕන නෑ කියන මට්ටමේය.
සමුපකාර අතීතයට එබෙන්නට උත්සාහ කළේ සමුපකාර ඡන්ද ගැන ඇහෙන බැවිනි. අද ජනතාව සමුපකාර ක්‍රමයක් ගැන එතරම් උනන්දුවක් නැත. එහෙත් දේශපාලකයන් සමුපකාර ඡන්දය ගැන ඕනෑවටත් වඩා උනන්දුය. මාධ්‍යවලටත් එය ලොකු පුවතකි. මේ දිනවල හතර අතින් ඇහෙන්නේ සමුපකාර ඡන්දවල ප්‍රතිඵලය. එහිද මාලිමාව පරිදින එක උඩටම ඇවිත් ඇත. සමුපකාර ඡන්දය සහ පරණ සමුපකාර කතා දැන් අහසට පොළොව වැනිය. හැමදේම දේශපාලනීයකරණය වී ඇති වටපිටාවක සමුපකාරයද එහි ගොදුරක් වී හමාරය. මහින්ද රාජපක්ෂලා බලය දරනා කාලයේ සමුපකාර ඡන්ද දිනන්නේද එම පිරිසමය. පසුගිය කාලයේ රාජපක්ෂ බලය පිරිහෙන බවට ආ මුල්ම ඉඟි සැපයුවේ සමුපකාර
ඡන්ද මාලිමාව දිනමිනි. ඒ සන්තෑසියේම අලුත් ඛේදවාචකය මාලිමාව ජයගෙන ඉතා කෙටි කාලයක් තුළ සමුපකාර ඡන්දවලින් මාලිමාව පරාජය වීමය. මේවා ජනතාවට සතේකට වටිනා කාරණා නොවූවද දේශපාලකයන්ට තම බලපරාක්රමයන් පෙන්වන මෙවලම් වී ඇත. විපක්ෂයම එකතු වුවහොත් ආණ්ඩුවට බලපෑමක් කළ හැකි බව සමුපකාර ඡන්ද විපක්ෂයට දෙන පණිවුඩය වී ඇත. ඒ ඔවුන් සියලුදෙනා එක්වී මාලිමා පිරිස් පරාජය කරන්නට පටන් ගෙන ඇති බැවිනි. ආණ්ඩුවද රාජ්‍ය බලය අනිසි ලෙස යොදා ගනිමින්
සමුපකාර ඡන්ද දිනන්නට වෙර ගනිති. ඒ සඳහා ආණ්ඩු මන්ත්රිවරුම කරන කැප කිරීම්වලින් පෙනෙන්නට ඇත. මැරෙන්නට යන මිනිසා පිදුරු ගහේ හෝ එල්ලෙන්නා කියන්නා සේ විපක්ෂයේ අයට සමුපකාර ඡන්දවල ජයග්‍රහණය මහ මෙරක් වී ඇත. එමෙන්ම ආණ්ඩුව ලබා ඇති අසීමිත ජය සෙලවෙන්නේද යන බය මේ සමුපකාර ඡන්ද පරාජය හරහා ආණ්ඩුවට ඒත්තු වී ඇත. දිනන්නට පෙර ලකුණු බවට සමුපකාර ඡන්දවල ජය බලපෑවේ නම් පරාජයේ ලකුණු පෙන්වන්නට මේ ඡන්දවල පරාජය බල නොපානු ඇතැයි කාට කිව හැකිද? එය එසේ නොවේ නම් මේ ඡන්දයට ආණ්ඩුව මේ තරම් නහිනු ඇත්ද?
ටිරන් කුමාර බංගගමආරච්චි
උපුටා ගැනීම – මව්බිම