වසර 20ක් යනතෙක් ජනතාව බලාපොරොත්තු වන ආකාරයට තෙල් මිල අඩු කරන්න බෑ
රටට අහිතකර ගිව්සුම් හරහා මෙරට ඉන්ධන අලෙවිය විදේශ සමාගම් හතරකට පවරා තිබීම හේතුවෙන් ඉන්ධන මිල ජනතාව බලාපොරොත්තු වන ආකාරයට අඩු කළ නොහැකි බවත් ඉන්ධන මිල අඩු කළහොත් අදාළ සමාගම්වලට වූ පාඩුව බලශක්ති අමාත්‍යංශය ගෙවිය යුතු යැයි ගිවිසුම්වල සඳහන්ව ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පරියන්ත සමාගමේ සභාපති ඞී.ජේ. රාජකරුණා මහතා ඊයේ (4) පැවසීය.
ඔහු මෙසේ පැවැසුවේ දෙමටගොඩ ලංකා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී ඊයේ (4) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.
ඉන්ධන මිල අඩු කිරීමෙන් සමාගම්වලට පාඩුවක් වූ බව කියමින් එය ගෙවන ලෙස ඇතැම් සමාගම් බලශක්ති අමාත්‍යාංශයට වියදම් වාර්තා ඒවා ඇති බව කී රාජකරුණා මහතා මෙම ගිවිසුම් වසර 20 ක කාලයක් සඳහා අස්සන් කර ඇති බවද සඳහන් කළේය.
දේශපාලන අවශ්‍යතා මත අස්සන් කළ මෙම ගිවිසුම් හේතුවෙන් එකවර ඉන්ධන මිල අඩු කළ නොහැකි බවත් ඒ පිළිබඳව කළ හැකි දේ පිළිබඳව සලකා බැලීමට ඛනිජ තෙල් සංස්ථාවේ නීති අංශය කටයුතු කරමින් සිටින බවත් හෙතෙම පැවසීය.දේශපාලන සංවිධානය කටයුතු කරන ආකාරයට මෙවැනි ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බව කී සභාපතිවරයා ඉතාම පරිස්සමෙන් මේ පිළිබඳව කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය. ඉන්ධන මිල සූත්‍රය අනුව මුදල් අමාත්‍යාංශය මිල තීරණය කරන බවත් ඉන්ධන බදු පිළිබඳව මුදල් අමාත්‍යංශය තීරණ ගතයුතු බවත් රාජකරුණා මහතා කීය.
එක සමාගමක් ‘සිපෙට්කා’ ලාංඡනය යටතේ මේ දක්වා ඉන්ධන අලෙවි කරමින් සිටින බවත් ඔවුන්ට එය වෙනස් කරන ලෙස දැනුම් දී ඇති බවත් ඔහු පැවසීය.
මිල සූත්‍රය මත සුපිරි ඉන්ධන වර්ග දෙකේ මිල හෝ අඩු නොකළේ නම් එම වාසිය ද විදේශ සමාගමවලට හිමි වන බව කී රාජකරුණා මහතා ඉන්ධන මිල සූත්‍රය අනුව ගණනය කිරීමෙන් ජනතාවට විශාල අසාධාරණයක් නොවන බවද සඳහන් කළේය.
ගුවන්යානා සහ නෞකාවලට ඉන්ධන සැපයීමෙන් තෙල් සංස්ථාව මීට පෙර ඩොලර් ඉපයුව ද පසුගිය ආණ්ඩු එම අවස්ථා වෙනත් පාර්ශ්වයන්ට දීමෙන් විශාල ආදායමක් අහිමි වී ඇති බවත් එම අවස්ථාව ද නැවත සිපෙට්කො වෙත ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසීය. ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුවට විසඳුමක් ලෙස ඕනෑම ඉන්ධන ලීටරයකට රුපියල් 6 ක මුදලක් ගෙවීමට සංස්ථාව එකඟවුවද ඔවුන් අධිකරණයට ගොස් ඇති බවත් ඉන්ධන පිරවුම්හල් හිමියා සිපෙට්කො බෙදාහැරීම් ජාලයේ කොටස්කරුවකු ලෙස සලකමින් අසාධාරණ ලාභයක් ලැබීමේ අවස්ථාව නොදෙන බවත් සභාපතිවරයා කීය.
මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ පසුගිය ආණ්ඩුව පෞද්ගලික අංශය අතට පත්කර ඇති ලිහිසි තෙල් සහ කෘමිනාශක අලෙවිය ද ක්‍රමයෙන් තෙල් සංස්ථාව වෙත ගැනීමට කටයුතු කරමින් සිටින බවයි. මෙම සියලුම ගිවිසුම් ආණ්ඩුවට අවාසිදායක ලෙස අස්සන් කර ඇති බවද හෙතෙම පැවැසීය.
( යොහාන් භාසුර)
Credit – Gossip lanka news