ගුරුතුමීට මානසික පීඩනය ගෙනදුන් පාසල් සිසුවා දුන් තෑග්ග
ඕනෑම දරුවකුගේ මව්පියන් මෙන්ම ගුරු භවතුන් ද පාසලේදී මෙන්ම පිටතදීත් මව්පියන් මෙන්ම තමන්ගේ ශිෂ්‍ය ප්‍රජාවට දක්වන ආදරය කරුණාව මෙතෙක් යැයි කියා නිම කළ නොහැකිය. අම්මාගේ තාත්තාගේ ආදරයෙන් පසු දරුවනට අවශ්‍ය මඟ පෙන්වීම අධ්‍යාපනය ගුරුහරුකම් ලබා දෙන්නේ ගුරු භවතුන් යැයි කීම අතිශයෝක්තියක් නොවේ.
එහෙත් ගුරු භවතුන්ගේ එම කරුණාව ආදරය මඟපෙන්වීම තුට්ටුවකටවත් මායිම් නොකරන සමහර සිසු සිසුවියන් තමන්ට අකුරු කරන ගුරු භවතුන්ට අපහාස උපහාස කරන අයුරු සහ ගුරුභවතුන් සමඟ ආරවුල්වල පැටලී ඒ අයට පහර දුන් අවස්ථා පවා නැත්තේ නැත. මහමඟදී ගුරුවරුන්ට දණ ගසා වැඳ නමස්කාර කරන ශිෂ්‍ය ප්‍රජාව අතරේ ගුරුවරුන්ගේ වැරදි සොයමින් ඒ අය අපහසුතාවට පත්කරන ආරවුල්වල පැටලෙන අපහාස උපහාස කරන අතළොස්සක් නැත්තේ ද නොවේ.
මෙවැනි සිදුවීම් පොලිසි උසාවි දක්වා ගිය අවස්ථා ද පසුගිය කාලයේ අසන්නට දකින්නට ලැබිණි.
කිසිම අවස්ථාවක ගුරු භවතකු මුහුණ නොදිය යුතු සේම ශිෂ්‍ය ප්‍රජාව විසින් නිකමටවත් ගුරු භවතුන් උදෙසා නොකළ යුතු ඉතා පහත් ක්‍රියාවක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය පසුගියදා අනාවරණය කර තිබිණි.
ඒ තමන්ගේම පාසලේ සේවයේ නිරත ගුරුවරියකගේ මුහුණේ ඡායාරූපයකට නිරුවත් කාන්තා රූපයක් බද්ධ කර සමාජ මාධ්‍ය ජාලයකට මුදාහළ ශිෂ්‍යයකු ගැනය. මේ සිද්ධිය වාර්තා වූයේ වයඹ පළාතේ පාසලකිනි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියේ 18 හැවිරිදි ශිෂ්‍යයෙකි. එම ශිෂ්‍යයා මේ අයුතු ක්‍රියාව සිදුකර තිබුණේ තමා අධ්‍යාපනය ලබන පාසලේම සේවයේ නිරත ගුරුවරියකටය.
සැකකාර ශිෂ්‍යයා අදාළ ගුරුවරියගේ මුහුණේ ඡායාරූපයකට නිරුවත් කාන්තාවකගේ සිරුරේ ඡායාරූපයක් බද්ධ කර යම් මාධ්‍යයකට මුදාහැර තිබුණි. විමර්ශනවලදී හෙළි වූ අන්දමට සැකකාර ශිෂ්‍යයා එම නිරුවත් ඡායාරූප මුදාහැර තිබුණේ ෆේස්බුක් සහ ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලා වෙතය. එම සමාජ මාධ්‍ය ජාලාවල කාමුක දසුන් සහිත සමූහවලට ගුරුවරියගේ මුහුණේ ඡායාරූප යොදා සකස් කරන ලද නිරුවත් කාන්තා ඡායාරූප මේ සිසුවා විසින් මුදාහැර තිබිණි.
මේ සිද්ධියෙන් අදාළ ගුරුවරිය කොතරම් පීඩනයට දුකට සහ කම්පනයට පත්වූවාද යන්න කිවහොත් ඇය තමාගේ ජීවිතය නැති කර ගන්නා තරමටම මානසිකව පීඩනයකට ලක්ව සිටියාය.
මේ ශිෂ්‍යයා විසින් එලෙස සමාජ මාධ්‍ය ජාලා දෙකකට මුදාහරින ලද ගුරුවරියගේ සකස් කරන ලද නිරුවත් ඡායාරූප දුටු ඇගේ මිතුරු මිතුරියන් හිතවතුන් ඇගෙන් ඒ පිළිබඳව විමසා ඇති අතර, ගුරුවරිය ඒ ගැන දැනගත්තේ එම පුද්ගලයන් එලෙස ඇගෙන් සිදුකරන ලද විමසීම් නිසාය.
ඉන් අනතුරුව ගුරුවරිය විසින් මේ සම්බන්ධව සොයා බලන ලදි. එහිදී ඇයට දැන ගැනීමට ලැබුණේ සිද්ධියේ සත්‍යතාවක් ඇති බවයි. මින් කම්පනයට පත් ගුරුවරිය ඒ ගැන නීති උපදෙස් ලබාගෙන පොලිසියට පැමිණිලි කරන්නේ ඉන් අනතුරුවය.
පොලිස් විමර්ශන ආරම්භ කිරීමෙන් පසු පොලිසිය සිදුකරන ලද පරීක්ෂණයේදී සොයාගත් කරුණු කාරණා අනුව සැකකාර ශිෂ්‍යයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදි. සැකකාර ශිෂ්‍යයාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් පොලිස් නිලධාරින් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන්නේ ඉන් අනතුරුවය. සැකකාර ශිෂ්‍යයා ඇප මත මුදාහැරිණි.
එසේ අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකාර සිසුවා ඇමතූ මහේස්ත්‍රාත්වරයා සිසුවාට නියෝග කරන්නේ අදාළ ඡායාරූප වෙනත් සංස්කරණයන්වලට භාජනය නොකරන ලෙසය. එමෙන්ම සාක්ෂිකරුවන්ට කිසිම බලපෑමක් නොකරන ලෙස සැකකාර ශිෂ්‍යයාට අවවාද කළ මහේස්ත්‍රාත්වරයා එසේ කළ බවට වාර්තා වුවහොත් මේ සිද්ධිය සම්බන්ධයෙන් නීති කටයුතු අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිදුවන බවද සඳහන් කෙළේය.
සැකකාර ශිෂ්‍යයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයේදී සඳහන් කරන්නේ මේ නිරුවත් ඡායාරූප මුදාහළ බව කියන අදාළ සමාජ මාධ්‍ය ජාලාවල ‘සමූහයන්’ පිළිබඳව වගකීම් භාර ගැනීමට නොහැකි බවය. එමෙන්ම මෙහි සාක්ෂිකරුවන් ලෙසින් ඉදිරිපත් කර ඇති අයද ඉතා අඩු වයස්වල සිටින බවද එම නීතිඥවරු පෙන්වා දුන්හ.
දීපාල් සමරසේකර
උපුටාගැනීම: සිළුමිණ