ගිනි තිබ්බ මගේ ගේ තාම හැදුවේ නෑ, මං ඉන්නේ පුංචි කෑල්ලක
අද සාකච්ඡාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සමඟින්.
ආයුබෝවන් මහලේකම් තුමා
ආයුබෝවන්
මට හිතෙනවා ඇත්තටම ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්ද කියලා?
වෙන කවුද ඉන්නේ..
ඇයි දයාසිරි ජයසේකර ?
මෙහෙමයි ඉතින් දැන් සින්නක්කර අයිතියක් තියෙන ඔප්පුවක් තියෙන ඉඩමක නඩුවක් දැම්මහම නඩුව දාපු එක්කෙනාට අයිති වෙනවද?
නඩුවෙන් එතුමාට තීන්දුවක් දුන්නනේ. දයාසිරිගේ ලේකම්කම පිළිගන්න ඕනි කියලා?
ඒ නඩුවේ තීන්දුව හම්බ වෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමත් සභාපතිකමෙන් අයින් වෙලා. විජේදාස රාජපක්ෂ මැතිතුමාත් සභාපතිකමෙන් අයින් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය විදිහට, සභාපති විදිහට නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමත් ලේකම් විදියට දුමින්ද දිසානායකත් පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ නිලධාරි මණ්ඩලය විසින් පත් කර ගත්තට පස්සේ.
අතීතයේ දැකපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරන්න පුළුවන් වෙයිද?
අපි ඒ ගමන දැන් නිර්මාණය කරගෙන යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ මහගෙදර. හැමදාම මහගෙදර විවෘතයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී නැවත වතාවක් දේශපාලන පක්ෂයක් විදිහට ජනතාව බලාපොරොත්තු වෙච්ච ගමන මේ පක්ෂෙ දකින්න ලැබෙයි. ඒකට හේතුවක් තියෙනවා. ජනතාව විශ්වාසයක් ඇතුව පහුගිය ආණ්ඩුව බලයට පත්කළා. අද එයාලට දේශපාලන වේදිකාවේ කියපුවා කරගන්න බැරි වුණා. හාල් ප්රශ්නය එක පෑන් පාරෙන් විසඳන්න පුළුවන් කිව්වා. තාමත් ඒ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන් වෙලා තියෙනවද? වේදිකාවේ කිව්ව විදිහට අපි හිතුවේ කසාඳ නොබැන්දට ලමයා හදලා ඇති.ලමයා හම්බෙනවා 21වෙනිදට කියලා. ඒ වගේ තමයි කිව්වේ. දැන් මාස 10ක් ඉල්ලුවට. හැබැයි අපි දන්නවා යම්කිසි කාලයක් ඕනි කියලා.
ඊළඟ මැතිවරණයට කොහොමද පක්ෂයේ සූදානම?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පොදුජන එක්සත් පෙරමුණෙන් තමයි අපි ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. අපි මේ වෙනකොට කණ්ඩායම් ගණනාවක්, පක්ෂ ගණනාවක් එක්ක සාකච්ඡා කරමින් යනවා. ප්‍රධාන දේශපාලන පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ වෙච්ච පොදුජන එක්සත් පෙරමුණත් ප්රමුඛ වෙච්ච සමහර වෙලාවට තවත් පක්ෂ ගණනාවක් එකතු වෙන්ත් ඉඩ තියෙනවා.
මේ වෙනකොට එවැනි සාකච්ඡා පැවැත්වෙනද?
පැහැදිළිවම
පොදුජන එක්සත් පෙරමුණේ නායකයා කවුද?
දැන් ඉන්නේ නායකත්ව මණ්ඩලයක්. නායකත්ව මණ්ඩලයෙන් එක් නායකයෙක් අපි පත්කර ගන්නවා. එතුමා අනුර ප්‍රියදර්ශන යාපා.
කවුද නායකත්ව මණ්ඩලයේ ඉන්නේ?
සියලු පක්ෂ, කණ්ඩායම්, ඉන්නවා. නම් වශයෙන් කියන්නෑ මම.
ඔබතුමා අනුර ප්‍රියදර්ශන යාපාගේ නම කිව්වේ ඇයි එහෙනම්?
අනුර ප්‍රියදර්ශන යාපා දැනට නායකත්ව මණ්ඩලයේ නායකයා බවට තෝරාපත්කරගෙන තියෙනවා.නායකත්ව මණ්ඩලයෙත් නායකයා තෝරගෙන ඉවරයි.
එතකොට සාමුහිකව අනෙකුත් පක්ෂ එකතුවීම ගැනත් ඔබතුමා කියනවා.සාකච්චා කරනවා කියලත් කියනවා, එතකොට නායකත්ව මණ්ඩලයක් තෝරගෙන නායකයෙක් පත්කරගෙනත් ඉවරයි. පටන් ගන්න තැනම අවුලක් නේද?
නෑ කිසිම අවුලක් නෑ. දැනට සාකච්චා කරනවා. ඒ නිසා කිසිම කෙනෙක් අකමැති නෑ.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ පොදුජන එක්සත් පෙරමුණෙන්?
ඔව්. ඒක ස්ථීරයි. පුටුව සලකුණෙන් තරග වදිනවා.
ඔබ දේශපාලන පවුලකින් පැවත එන කෙනෙක්. ඔබ කැබිනට් ඇමතිකම් දරනවා, නියෝජ්‍ය ඇමතිකම් දරනවා. රාජ්‍ය ඇමතිකම් දරනවා. විවිධ තනතුරු මතිමතාන්තර දරමින් ආපු කෙනෙක්. මොකුත්ම නැතුව නිකන් ඉද්දී මොකද්ද හිතෙන්නෙ?
එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. 2000 ඉදන් මම 2024 වෙනකන් පාර්ලිමේන්තුව නියෝජනය කළා. අපි දේශපාලනය කරන්නේ තනතුරු බලාගෙන හෝ ආණ්ඩු බලාගෙන නෙමෙයි.
ඔබ ඇමතිවරයෙක් ලෙස නෙමෙයි මන්ත්‍රීවරයෙක් වෙලා ඉද්දිත් රජයේ ගෙයක් භාවිතා කරලා තියෙනවා කිව්වා? ඔබ ඉන්නේ ආණ්ඩුවේ ගෙදරක කියලා ඔබගෙම කඳවුරේ අය කිව්වා ඇයි ඒ?
මම නිල නිවසක ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස 2000 පත්වෙච්ච ගමන් නෙමෙයි. මම 1989 තමයි තාත්තා එක්ක කොළඹ ඇවිල්ලා තාත්තට දීලා තිබ්බ තැප්‍රොබේන් හෝටලයේ කාමරයක් තමයි මන්ත්‍රීවරුන්ට දීලා තිබ්බේ. ඒකන් තමයි මම ආණ්ඩුවෙන් ලබා දෙන පහසුකමක ඉන්න පටන් ගත්තේ, මට අවුරුදු 10දි. අවුරුදු 35ක්ම මම රජයේ නිල නිවාසෙක ඉදලා තියෙන්නේ. මම දැන් ඉන්නේ මගේ ගෙදරක. මම ඇමතිවරයෙක් නොවී මන්ත්‍රීවරයෙක් වෙලා ඉද්දි නිවාස භාර නොදුන්නේ අරගලයට පින්සිද්ධ වෙන්න, අරගලය වෙලාවේ අපේ අනුරාධපුරයේ ගේ ගිනිතිබ්බා. ඒ අනුව තමයි ඒ නිල නිවසෙ යම් කාලයක ඉන්න ලැබුණේ.
සහල් ගිඟයට හේතුව මොකද්ද?
එයාලා කියන හේතු අපිට පිලිගන්න බෑ. පහුගිය කාලේ ජනතාව ඕනිතරම් කන්න තිබ්බා. ජනතාවට වී ටික විකුණගන්න ක්‍රමයක් තිබ්බා. මෙච්චර හාල් හිඟයක් ඇතිවෙලා නෑ. ආණ්ඩුව මාධ්‍ය ඉදිරියේ කියන්නේ අපි මේ වී ටික ගන්නේ මෝල් හිමියන්ට පාඩමක් උගන්වන්න. හැබැයි ඊයේ වෙද්දි නෝටිස් දාලා හාල් ටික විකුණන්න. අදත් කියනවා බය වෙන්න එපා. කන්න හාල් දෙනවා කියලා. බොරුවක්නි මේක.
හාල් හිඟ කාලේ ඇයි ආණ්ඩුව ආණ්ඩුව වී තොග කොටලා වෙළඳපොළට දැම්මේ නැත්තේ ඇයි? ඔබ මොකද්ද හිතන්නේ
ඒක මගෙන් අහන්න එපා. අපේ ආණ්ඩුවක් තුබුණා නම් රටේ හාල් ගිඟවෙනකොට අපි ගාව ස්ටොක් එකක් තිබුණා නම් අපි ඉස්සෙල්ලම කරන්න මේ ටික කොටලා බෙදන එක. මේක තමයි ළගම විසඳුම
වී වලට ලබා දුන් සහතික මිල සාධාරණයිද?
එදා හිටපු ගොවි නායකයා අද කෘෂිකර්ම ඇමති වෙලත්, නියෝජ්‍ය ඇමතිවරයා වෙලත් අද ගොවින්ට කිසිම සැනසීමක් නෑ. සාධාරණයක් නෑ කියලා සමස්ත ගොවීන් කියයි. ගොවීන් කියයි අපි රැවටුණා.,අපි අහුවුණා. හැබැයි අපි ආයේ රැවවෙනේ නෑ කියලා ගොවීන් කියයි. නාමලුයි, කෘෂිකර්ම ඇමතිවරයයි පහුගිය දවසක මාධ්‍ය හමුවක් තිබ්බා. නාමල් එතනදි කියනවා අපි සහතික මිලක් දෙන්නේ නැත්තේ හිතා මතා කියලා. ඒ මොකද ඒ දවස්වල ඒ අය දන්නවා 90ට ගන්නේ, 80ට ගන්නේ, 100ට ගන්නේ කියලා. ඒ ගණන්වලට ගත්ත එක ආණ්ඩුවෙන් 120ක් කරාම ගොවීන් හිතයි ෂා නියමයිනි කියලා. හැබැයි නාමල්ට අමතකයි ඒ වියදම ගැන. 90ට ගත්තේ කුණු කොල්ලෙට, මංකොල්ල කාලා ගොවින්ගෙන් ගත්තේ මෝල් හිමියෝ. ඒකට තව 30ක් වැඩි කරලා 120 දුන්නහම මේ අය මාර කට්ටියක් වෙනවද? ඒ අයට මාර කට්ටිය වෙන්න වුවමනාව තිබ්බේ. ඒකයි නාමල් එහෙම කිව්වේ.
ආණ්ඩුව හිතාමතාව වී සදහා සහතික මිල දීම ප්‍රමාද කළේ මහා පරිමාණ වී මෝල් හිමියන්ට කුණු කොල්ලෙට ගොවි ජනතාවගේ වී ටික ලබා ගන්න ඉඩ සලසන්නද?
අපිට එහෙම හිතනවා. ජනපති මේසෙට තට්ටුවක් දාල මෝල් හිමියන්ට රුපියල් 10ක් වැඩිකරලා දුන්නනි. ඒක මම කිව්ව කතාවක් නෙමෙයිනි. එතකොට නාමල් කරුණාරත්න කියනව නම් අපි හිතාමතාමයි වී මිල තීන්දු කළේ නැත්තේ කියලා ඔබේ ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? ඔව් කාටහරි මේක අඩුවට මිලදී ගන්නකන් , හාල් අරගෙන ලොකු ලාභයක් ලබනකන් කරබාගෙන හිටියා කියලා අපිට හිතෙන්නේ.
දැන් ආණ්ඩුව සහතික මිලක් ලබා දීලා තියෙනවනි. ඉදිරි සහ දිනවලදී ආණ්ඩුවට වී ලැබෙන ප්‍රමාණය අනුව මේ කාරණය අපිට පැහැදිළි කරගන්න පුළුවන් නේද?
පැහැදිළිවම. අපි බලමු නේද? කාලය තීන්දු කරන්නේ ඕනේ වී ටික කැපෙන මුල්ම කාලේ. අම්පාරෙන්, මොනරාගලෙන් පටන් ගන්නේ. ඒ දිස්ත්‍රික්කවල අස්වැන්න නෙලලා ඉවරයි. අනුරාධපුර, පොලින්නරුව පැත්තේ වී මිලට ගන්නේ කවුද කියලා රටම දන්නවනි. වී මොල් හිමියෝ ගන්නවා, ආණ්ඩුවට ගන්න ඉතිරි වෙන්නෑ ලොකු ප්‍රමාණයක්.
ඔබතුමාගේ ආණ්ඩුකාලේ මෙච්චර වැඩි සහතික මිලක් වී සඳහා ලබා දුන්නද?
හරියටම ගණන් මිනුම් මේ අවස්ථාවේ කියන්න බෑ.
පොල් ප්රශ්නය ඇතිවුණේ ඇයි?
පොල් හිඟයට ප්‍රධාන හේතුව පොල් ගහට ඇති වෙච්ච කෘමින් සහ ලෙඩ රෝගත් එක්ක. කොච්චර පොහොර දැම්මත් වැඩක් වුණේ නෑ. ආණ්ඩුවට කියනවා පොල් හිඟයට විසඳුමක් ලෙස පිටරටින් ඕනනම් පොල් ගේන්න, හැබැයි පොල් වතු නඩත්තු කරන එක නවත්තන්න දෙන්න එපා. ආනයනය සමග පොල් මිල අඩු වුණොත් ඒක පාරිභෝගිකයට හොද වුණාට වතු හිමියන්ට ආදායමක් නැතිවෙයි කියලා හිතුණොත් වතු නඩත්තු කරන එකක් නෑ. පරිස්සමින් බැලන්ස් කරන්න කියලා මම ආණ්ඩුවට කියනවා.
අවසාන වශයෙන් ඔබතුමාට කියන්න තියෙන්නේ?
මේ රට පහුගිය ආණ්ඩු හොද නෑ කියලා මේ කියපු ආණ්ඩු හොඳයි කියලා මේ රටේ බලය ලබා දුන්නේ. කලින් හිටපු ආණ්ඩු කරපු ටිකමනි ඒ ආණ්ඩුව කරන්නේ. හැබැයි ඒ අයගෙන් ජනතාව බලාපොරොත්තු වුණේ මොකද්ද? කලින් ආණ්ඩුවල හැසිරීම නෙමෙයි. අපිට වැරදුණේ ගෝඨාභය රාජපක්ෂ ගොවීන්ට අතතියලනි. සෙල්ලමක් නෙමෙයි මේක. දෙවෙනි අරගලයක් කොයි වෙලාවෙද දන්නෑ අපි. අපි ප්‍රාර්ථනා කරන්නෑ අරගලයකට. දේශපාලන පක්ෂයක් විදිහට ජනතාවගේ පැත්තෙ සෑමවිටම හිට ගැනීමට අපි සූදානම්.
උපුටාගැනීම: හිරු