බිරිදගේ අනියම් සැමියාව නොඑන ගමන් යැවූ එක්දරු පියාට වැලන්ටයින් දා අත්වුනු ඉරණම
නිලූකා ප්‍රේම සබඳතාවකට පටලැවුණේ පාසල් යන කාලයේ සිටමය. ගැටවර වියේ පසුවූ චමිල් පොත්පත් තුරුලු කරගෙන සුදෝ සුදු ගවුමකින් සැරසී පාසලට පිය නඟින නිලූකාට කෙතරම් ආදරය කළාදැයි කිවහොත් ඔහුට ඇය අමතක කරන්නට පවා නොහැකි විය.
කවදා හෝ ඇය තම සහකාරිය කරගන්නා බවට චමිල් සිතූ පැතූ වාර අනන්තය. දෙදෙනාම කලවාන ප්‍රදේශයේ පාසලක සිප්සතර හැදෑරුවද නිලූකාටද අවශ්‍ය වූයේ පාසල් ගමන නිමාවූ සැණින් චමිල් සමඟ එක වහලක් යටට යෑමටය. මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපනයද අඩාල විය. දෙදෙනාගේ පෙම් පලහිලව්ව කල් යත්ම ඔවුනගේ මවුපියන් දැන ගත්තද එය නතර කරලීමට තරම් හයියක් ඔවුනට නොවීය.
ඊට එක් හේතුවක් තිබුණේය. ඒ චමිල්ගේ මව හා පියා වෙන් වෙන්ව ජීවත් වීම නිසාය. අවසානයේ චමිල් සිය පෙම්වතියද රැගෙන පැනගියේ කාටත් හොර රහසින්ය. ඒ වන විට නිලූකාගේ වයස අවුරුදු 18කි.
කලක් තැන් තැන්වල ගතකළ ඔවුහු පසුව චමිල්ගේ මව ළඟත්, තව කාලයක් පියා ළඟත් ජීවත් වූහ. පියා සිය ඉඩමෙන් කොටසක් චමිල්ට ලියා දුන්නේය. ඒ කුඩා නිවෙසක් සාදා ගැනීම සඳහාය. ඒ, වැද්දාගල ප්‍රදේශයේ පියාගේ ඉඩමෙන්ය.
එහෙත් වැඩිකල් ඔවුන්ට එම නිවෙසේ ජීවත් වීමට වරම් නොවීය. නිවෙස හදිසියේම ගිනි ගැනීමට ලක්වීම ඊට හේතුව විය. අවසානයේ ඔවුන් පියාගේ සොහොයුරියකගේ නිවෙසක නතර විය. එය පිහිටා තිබුණේ ගඟුලගමුව ප්රදේශයේය. චමිල්ට දාව නිලූකාට පුතකු ලැබුණේද මේ කාලයේදීය.
කාලය ගෙවී ගියේ මෙසේය. වඩු කාර්මිකයකු වූ චමිල් අතට කීයක් හෝ සොයා ගත්තේ එම රස්සාවෙන්ය. ඒත් සැමියා උපයන දෙයින් පවුල නඩත්තු කිරීමට අපහසු බව නිලූකා දැන සිටියාය. ඒ පුතාගේ අධ්‍යාපන කටයුතුවලටද බර වියදමක් ගිය නිසාය. අවසානයේ ඇයද තීරණයක් ගත්තාය. ඇය පෞද්ගලික ආයතන දෙතුන් තැනකම රැකියාවට ගියාය. එහෙත් එම තැන්වලින් ලැබුණේද සොච්චම් පඩියක්ය.
කාලය මෙසේ ගෙවී යද්දී පුතාද උස් මහත් වන්නට විය. ඔහුද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේය. මේ අතර පෞද්ගලික තැන්වල රැකියාවට ගිය ඇය ඒ සියල්ල නතරකොට ගඟලගමුවේ තේ ෆැක්ටරියක වැඩට ගියාය. එතැනින් හොඳ වැටුපක් ගෙවනු ලැබීය. ඒ නිසා දිගටම ඇය එතැන සේවය කළාය.
වසර පහකට ආසන්න කාලයක් ඇය මෙලෙස සේවය කරද්දී ඇයට සිය සැමියා ටිකෙන් ටික අමතක වන්නට පටන් ගත්තාය. ඇය ඔහුටද හොර රහසේ ෆැක්ටරියේම සේවය කළ ප්‍රසන්න සමඟ අනියම් සබඳතාවකට මුල පිරුවේ ඉන් පසුවය. ප්‍රසන්න ෆැක්ටරියේ ප්‍රවාහන කටයුතු භාරව සිටියේය. ඔහු අවිවාහකයෙකි. සේවක, සේවිකාවන් ෆැක්ටරියට රැගෙන ඒමත් සේවය නිම වීමෙන් පසු ඔවුන් රැගෙන යෑමත් ප්‍රසන්නගේ රාජකාරිය විය. ඒ යන එන ගමනේ ප්‍රසන්නගේ රථයට ගොඩවූ නිලූකාට අවසානයේ ප්‍රසන්න නැතිවම බැරිවිය.
වසර දෙක තුනක් යද්දීම මෙම අනියම් හුටපටය නිලූකාගේ සැමියාටද දැනගන්නට ලැබුණේය. දෙදෙනා අතර ආරවුල් ඇතිවූයේ ඉන් පසුවය. ආරවුල් දුරදිග යෑමත් සමඟ සැමියා නිලූකාට පහර දෙන්නටද පටන් ගත්තේය.
පාසල් යන වියේ සිටම පැවැති දෙදෙනාගේ කුලුඳුල් ආදරයේ නිමාව ටිකෙන් ටික ළං වෙමින් තිබිණි. අවසානයේ ගැටුම කලවාන පොලිසිය තෙක්ම ඇදී ගියේය.
“සර් මට මේ මිනිහත් එක්ක ඉන්න බැහැ. මාත් එක්ක රණ්ඩු වෙනවා. මට ගහනවා. මට මෙයාගෙන් අයින් වෙන්න ඕනෑ.”ඇය වරක් දෙවරක් නොව තෙවරක්ම පොලිසියට පැමිණිලි කරමින් කියා සිටියාය.
සර්… මේකියි මමයි ඉස්කෝලේ යන කාලේ ඉඳලම ලව් කළා. මම මේකිට ආදරෙයි සර්. අපිට ලොකු පුතෙක් ඉන්නවා. දැන් මේකි ෆැක්ටරියේම එකෙක් එක්ක පවුල් කනවා. මාව එළවනවා.පොලිසිය ඔවුන් සමාදාන කොට පවුල් ආරවුල විසඳුවද යළි යළි එය ඇවිළෙන්නට විය.
“සර් මට මේ මිනිහත් එක්ක ඉන්න බැහැ සර්… මට මේ මිනිහාගෙන් ඩිවෝස් වෙන්න ඕනේ…”නිලූකා තදින් කියා සිටියාය. පසුව සැමියාගෙන් වෙන් වෙන බව කියමින් නිලධාරීන් ඇගේ ප්‍රකාශයක්ද සටහන් කරගත්තේය. දෙදෙනාම විසිර ගියහ. ඒත් චමිල් ඊට කැමැත්තක් දැක්වූයේ නැත. පොලිසියෙන් ගිය නිලූකා එදායින් පසු යළි සැමියා ළඟට නොගියාය. ඇය ගඟලගමුව ෆැක්ටරිය ආසන්නයේම කුඩා කුලී නිවෙසක පදිංචියට ගියා. ඒ රුපියල් තුන්දහසක මුදලක් මසකට ගෙවීමේ පොරොන්දුව මතය. නිවෙසේ හිමිකාරිය පදිංචිව සිටියේ එම වත්තේ කුලී නිවෙසට ආසන්නයේය. සැමියාගෙන් වෙන්ව පැමිණි නිලූකාට නිවෙසේ හිමිකාරියද සමහර දාට කෑම බීම පවා දුන්නාය.
සමහර දාට ඇගේ පුතාද ඇය පදිංචි කුලී නිවෙසට ආවේය. පාසල් යන දිනයන්හි ඔහු නිලුකා ළඟ සිටියද නිවාඩු දවස්වල ඔහු යළි වැද්දාගලට ගියේ පියා ළඟ රැඳීමේ අදහසින්ය. ඒ අතරතුර නිලූකා සිය අනියම් සැමියාද සිය කුලී නිවෙසට ගෙන්වා ගැනීමට අමතක නොකළාය.
බිරිය වෙන්ව සිටියත් චමිල් ඇය ගැන නිතර සොයා බැලීය. සමහරදාට පුතාව දැකබලා ගැනීමේ අදහසින් ඔහු නිලූකාගේ කුලී නිවෙසටද ආවේය. ඒත් ඔවුන් අතර කතාබහක් නොවීය. ඒ නිලූකා ඔහුට විරුද්ධව දික්කසාද නඩුවක්ද දමා ඇති බව දැනගෙන තිබූ නිසාය.
තවත් සමහර දවසක චමිල් වරින් වර නිලූකාගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්තේය. සමහර අවස්ථාවලදී ඇගේ දුරකථනය කාර්යබහුල විය. එම අවස්ථාවේදී චමිල්ගේ රතු කට්ට පැන්නේය. ඇය දුරකථනයේ එල්ලී සිටින්නේ හොර සැමියා සමඟ බව දත් චමිල් තරහෙන් පිපිරුණේය. ඔහුගේ සිතේ ඇය ගැන ඇති වූයේ තරහක්ය.
ඉකුත් 13 වැනිදා නිලූකා සේවය කළ තේ ෆැක්ටරියෙන් විනෝද සවාරියක් සංවිධානය කර තිබිණි. ඒ අවිස්සාවේල්ල ප්‍රදේශයටය. ඊට ෆැක්ටරියේ සේවක සේවිකාවන් රැසක් සහභාගි වූහ. නිලූකාද ඒ අතර විය. ඇය සවාරියට එක් වූයේ සිය පුතු සැමියා ළඟට පිටත්කර යැවීමෙන් පසුවය.
විනෝද සවාරිය අවසන් වන විට රාත්‍රි කාලය උදාවී තිබීම නිසා නිලූකා මිතුරියකගේ නිවෙසක රැය පහන්කොට පසුදා එනම් 14 වැනිදා උදෑසනම මිතුරියගේ නිවෙසේ සිටම ෆැක්ටරියේ වැඩට ආවාය.
සවස් කාලයේ සේවය නිමකළ ඇය ගඟලගමුවේ කුලී නිවෙසට පැමිණියාය. එහෙත් එදා පුතා නිවෙසේ නොවූ තැන ඇය නිවෙසේ හිමිකාරියගේ නිවෙසේ නැවතුණාය.
රාත්‍රිය උදාවී තිබිණි. හිටි හැටියේම ඇගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබිණි. ඊට ප්‍රතිචාර දැක්වූ ඇය යළි සිය කුලී නිවෙසට යෑමට සැරසුණාය.
ඇයි මේ… හිමිකාරිය නිලූකාගෙන් විමසුවාය. මගේ බඩ රිදෙනවා වගේ ටොයිලට් යන්නත් වෙයි. මෙහෙ හිටියොත් අක්කටත් කරදරයිනේ. මම ගෙදර යන්නම්. ටොයිලට් යන්නත් ලේසියිනේ…එසේ කියමින් ඇය සිය කුලී නිවෙසට ගියාය. කාලය ගෙවී ගියේය. වේලාව මධ්‍යම රත්රියද පසුවිය. එක වරම ඇසුණු කෑකෝ ගැසීමකින් නිවෙසේ හිමිකාරිය සහ ඇගේ පුතා කලබල වී අවදි වූහ.
අම්මේ අර ගෙවල් පැත්තෙන් නේද…කෝ මේ ගෑනි වෙනදාට දෙපැත්තේම ලයිට් දාලනේ නිදාගන්නේ. අද ලයිටුත් ඕෆ් කරලානේ… බඩේ අමාරුවකුත් කියලනේ ගියේ. කෝකටත් ගිහින් බලමු…එසේ කී හිමිකාරිය විදුලි පන්දමක්ද රැගෙන කුලී නිවෙසට ගියාය. ඒ පසුපසම ඇගේ පුතාද විය. කුලී නිවෙස තුළින් ඇසුණේ මරලතෝනියකි.
මොකද මොකද ඔය කවුද කෑගහන්නේ කවුද…හිමිකාරිය මහ හඬින් විමසුවාය. දොරේ ඉදිරිපසින් ඉබ්බකු දමා ඇත. ඒ නිසා දොර විවර කරගත නොහැකිය. කෑගැසීමත් සමඟ පුද්ගලයකු මුගුරක්ද අතැතිව.නිවෙසේ පිටුපසින් පිටතට ආවේය. ඔහු වේගයෙන් හුස්ම ගන්නට විය.
“ආ… මේ… චමිල්නේ මොකද මේ…”
“නැන්දේ මේ බලන්න මේ ගෑනි මම නැති අතරේ හොර මිනිහත් ගෙදරට දාගෙන. එන්නකො ඌව පෙන්නන්න…”චමිල් හිමිකාරියට එසේ කියමින් ඉදිරිපස වසා තිබූ දොරට වැරෙන් පාපහරක් එල්ල කළේය. දොරේ ඉබි යතුරු කඩා වැටිණි. ඒ සමඟම දොර විවර විය.
‘’නැන්දේ කොහෙද ලයිට් එකේ ස්විච් තියෙන්නේ. ‘’
‘’ඔතැන බිත්තියේ… ‘’ඒ සමඟ විදුලි බල්බය දැල්විණි. පුද්ගලයකු ලේ ගලන තුවාල සහිතව දොර මුල්ලේ වැටී සිටියේය. ඒත් චමිල්ගේ කේන්තිය නිමාවී තිබුණේ නැත. චමිල් අත තිබූ පොල්ලෙන් යළිත් ඔහුට පහර දෙන්නට විය. ඒ සමඟ ඔහු සමඟ යහන්ගතව සිටි නිලූකා නිරුවතින්ම නිවෙසෙන් පිටව දිව ගියාය.
පහර පිට පහර කෑ තුවාලකරු බිම දිගේ ඇදෙමින් මිදුලට පැමිණියේය. ඒත් පහරදීම නතර නොවීය. නිවෙසේ හිමිකාරිය මෙන්ම පුතාද පහරදුන් පුද්ගලයා කවුදැයි හොඳින් දැකබලා ගත්තේය. කලක් හිමිකාරියගේ පුතාට අයත් ත්‍රිරෝද රිය පැදවූයේද චමිල්ය. ඒ නිසා චමිල් ඔවුන් දන්නා හඳුනන අයකු විය.
කෙසේ හෝ හිමිකාරියගේ මැදිහත්වීමෙන් තුවාලලත් පුද්ගලයාගේ ඥාතීන් දුරකථනය හරහා සම්බන්ධ කෙරිණි. ඒ අතර චමිල් පොල්ලද අතහැර එතැනින් පලා ගියේය. ඔහු කෙළින්ම ගියේ වැද්දාගල නිවෙසටය. පුතා එහි විය. ඔහු එකක් නෑර පුතාට කීවේය.
මේ බලපන් අම්මායි අර හොර මිනිහායි ඇදේ හිටිය විධිය… ‘’ චමිල් සිය ජංගම දුරකථනයේ පටිගත කළ ඡායාරුප, වීඩියෝවක්ද පුතාට පෙන්වමින් කීවේය.
තුවාලකරු පිරිස විසින් රෝහලට රැගෙන ගිය අතර ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබිණි. විමර්ශන ඇරැඹුවේ පොතුපිටිය පොලිසිය විසිනි. එහි ස්ථානාධිපතිවරයා වූයේ පොලිස් පරීක්ෂක කුමාර නලවංශය. ඔහු දක්ෂ විමර්ශකයෙකි. කලක් ඔහු මිරිහාන යුනිට් එකේ මෙන්ම ගල්කිස්ස පොලිසියේ කොට්ඨාස අපරාධ ඒකකයේද රාජකාරි කළේය. එම ස්ථානවල සේවය කරද්දී ඔහු අතින් විසඳුණු අපරාධ බොහෝය.
ඔහු සිය කණ්ඩායමත් සමඟ සිද්ධිය වූ ස්ථානයට ගියේය. ඒ 119 හදිසි ඇමැතුම් අංශයෙන් කළ දැනුම්දීමකට අනුවය. ඒ වන විටත් තුවාලකරු මියගොසිනි. සිද්ධිය වූ ඉඩම හිමි කාන්තාවගෙන්, ඇගේ පුතාගෙන් සහ නිලූකාගෙන්ද පොලිස් නිලධාරීන් ප්‍රකාශ ලබාගත්තේය. එහිදී එම සාක්කි තුනෙන්ම කියැවුණේ චමිල් නමැත්තා ගැනය.
පසුව පොලිසිය මියගිය පුද්ගලයාගේ සිරුර තැන්පත් කර තිබූ රෝහලටද ගියේය. ඔහු ප්‍රසන්න නමැත්තෙක් විය. ඔහු අදාළ තේ ෆැක්ටරියේ ප්‍රවාහන කටයුතු භාරව ක්‍රියා කළ තැනැත්තා විය. නිලූකා සමඟ අනියම් ප්‍රේම සබඳතාව පවත්වාගෙන ගොස් ඇත්තේ ඔහුය. නිලධාරීන් නිලූකාගෙන්ද ඒ බව විමසීය. ඇයද ඇත්තම පොලිසියට කීවාය.
ඊළඟට පොලිසිය ගියේ ප්‍රසන්නට පහරදී ඔහු ඝාතනය කළ නිලූකාගේ සැමියා සොයා ගෙනය. ඔහු සිය නිවෙසේ විය. ඔහු ප්‍රසන්න මියගොස් ඇති බව දැන සිටියේ නැත. පොලිසිය ඔහුට මාංචු දමා පොතුපිටිය පොලිසියට ගෙනැවිත් ප්‍රශ්න කරමින් ප්‍රකාශයක්ද සටහන්කර ගත්තේය.
‘’අපේ ගෑනියි ඔය මිනිහයි අතරේ සම්බන්ධයක් තිබුණා. මට ඒක අතටම අහුවුණා. එදා 13 වැනිදා අපේ ගෑනි ෆැක්ටරියෙන් ට්‍රිප් එකක් ගිහින් තිබුණා.14 වැනිදා මම එයාට කෝල් ගත්තා. කිසිම ආන්සර් එකක් නැහැ. මට ඕන වුණේ මෙයා ගෙදර ඇවිල්ලාද කියා පුතාව එහෙ යවන්න.මම පැයක් විතර එක දිගට කෝල් ගත්තා. සමහර වෙලාවට මාව බ්ලොක් කරලා. මම රෑ 1ට විතර ත්‍රීවීලර් එකකින් ඒ ගෙදරට ගියා. ගෙදර ලයිට් නිවලා තිබුණා. ඉස්සරහ දොරට ඉබ්බෙකුත් දාලා. ඒ ගෙදර කවුරුත් නැති බව පෙන්වන්න බව මට තේරුණා.
‘’මම හොඳට කන්දීගෙන හිටියා. ගේ ඇතුළෙන් කතා කරන සද්දත් මට ඇහුණා. මම දැනගත්තා ගේ ඇතුළේ කවුරු හරි ඉන්නවා කියලා. ඉස්සරහ දොර වහපු නිසා මම පිටිපස්සෙන් දොර ළඟට ගියා. ඒකත් තිබුණේ වහලා. ටිකක් තල්ලු කළා. ලීයක් හේත්තු කරලා වහලයි තිබුණේ. හිමින් හිමින් මම දොර ඇරගත්තා. මට ඇහුණා කාමරේ ඇතුළෙන් මගේ ගෑනිගේ කටහඬ. මම හීන්සීරුවේ කාමරයට ගියා. දෙන්නම හිටියේ ඇඟේ නූලක්වත් නැතිව. මම ෆෝන් එකේ කැමරා ඔන් කරගෙන උන් දෙන්නව වීඩියෝ කරලා එතැනම තිබූ පොල්ලක් අරන් දෙන්නටම ගැහුවා.
‘’ගෑනි හෙළුවෙන්ම පැනලා දිව්වා. අරූ මට අහුවුණා. මම ඌට හොඳටම නෙළුවා. සර් ඒ ඔක්කොම මම වීඩියෝ කළා’’සැකකරු පොලිසිය හමුවේ කියාගෙන ගියේය.
‘’අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලම ආදරේ කළේ එයත් මට ගොඩක් ආදරෙන් හිටියා. මම එයාට වෙනස්කමක් වත් කළේ නැහැ. ඔය ෆැක්ටරියේ රස්සාවට ගියාට පස්සේ තමයි එයාට මාව එපා වුණේ’’
ඔහු කඳුළු වගුරුවමින් මුමුනන්නට විය. තවත් ආදර කතාවක් අවසන් වූයේ එලෙසය. ඇත්තෙන්ම මෙය කනගාටුදායක සිදුවීමක් විය. ඒ පාසල් යන වියේ සිටම ආදරය කළ තම බිරියගේ අනියම් ඇසුර නිසා ලොවම ආදරයෙන් සමරන ආදරවන්තයන්ගේ දිනයේ ඔහුට මහ උළුගෙදරට යන්නට වූ නිසාය. සැකකරු ඉකුත් 14 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
(පොලිස් පරීක්ෂණ ඇසුරෙනි)
කීර්ති මෙන්ඩිස්
හිරු ගොසිප්