මිල වැඩිවීමෙන් ගැණුම්කරුවෝ නෑ.වාහන ආනයනකරුවෝ වේලෙති
වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම ලිහිල් කිරීමෙන් පසුව වාහන ආනයනය කළද මිල ගණන් විශාල ලෙස ඉහළ යාමෙන් වාහන ඉල්ලුම අඩුවී ඇතැයි ප්‍රධාන පෙළේ වාහන ආනයනකරුවෝ පවසති.
වාහන ආනයනය ආරම්භ කළ පසු විශාල ඉල්ලූමක් ඇතිවේ යැයි බලාපොරොත්තු වුවද එවැනි ඉල්ලුමක් නිර්මාණය වී නොමැති බවත් ඇතැම් ආනයන සීමා හේතුවෙන් සැපයුමේ ප්‍රමාදයක් පවතින බවත් ආනයනකරුවෝ කියති.
ආනයනය කරන වාහන මාස තුනක් NE ලියාපදිංචි නොකළහොත් ප්‍රතිඅපනයනය කිරීමට සිදුවීම, එසේ වුවහොත් ආනයනකරුට දඩයක් පැනවීම සහ ඇතැම් විට ආනයන බලපත්‍රය අහෝසි කිරීම වීම වැනි බලපෑම්වලට ආනයනකරුවන්ට මුහුණ දීමට සිදුවන බවත් ඒ හේතුවෙන් ගැණුම්කරු ඇණවුම් කිරීමෙන් පසුව පමණක් වාහන ආනයනය කිරීමේ කටයුතු ආරම්භ කරන බවද ඔවුහු සඳහන් කරති.
එම තත්වය යටතේ ගැණුම්කරුවකුට වාහනයක් ඇණවුම්කර වාහනය සැපයීමට මාස පහක පමණ කාලයක් ගත වන බව කියන ආනයන කරුවෝ එම තත්වය සහ වාහන නව මිල ඉහළ යැම නිසා ජනතාව වාහන මිලදී ගැනීම අත්හැර දැමීමට හෝ පරණ වාහනයක් මිලදී ගැනීමට පෙළඹෙන බව ද සඳහන් කරති.
මෙරට ප්‍රධානම වාහන ආනයන කරන සමාගමක් වන ටොයෝටා’ ලංකා සමගමේ වෙබ් අඩවියේ ද වාහන වල මිල සඳහන්ව නොමැති අතර වාහන ඉල්ලුම් කිරීමෙන් පසුව එහි මිල ප්‍රකාශ කරන්නේ යැයි සඳහන් කර තිබේ.
‘ටොයොටා’ ලංකා සමාගමේ වෙබ් අඩවියේ මීට මාස කීපයකට පෙර ‘ටොයොටා’ වීගෝ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 67 ක් ද, ‘ටොයොටා’ රේස් මෝටර් රියක් රුපියල් ලක්ෂ 95 ක්ද, ටොයෝටා රජ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 153 ක් ද, ටොයෝටා ‘ යාරිස් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 175 ක්ද, ටොයෝටා ලැන්ඩ් කෘසර්-300 ජීප් රථයක් රුපියල් ලක්ෂ 940 ක් ද, ලෙස සඳහන් කර තිබුණි.
මෙරට බහුලව පාවිච්චි කරන සුසුකි වැගන් ආර් අලුත් මෝටර් රථයක මිල ද මේ වන විට රුපියල් ලක්ෂ 70 ඉක්මවා ඇතැයි වාර්තා වේ.
මේ අතර විද්‍යුත් වාහන සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව එම වාහන ආනයනය කරන සමාගම් පවසයි. කෙසේ වෙතත් එම වාහනවල මිලද ඉතාම ඉහළ මට්ටමක පවතින අතර එම වාහනයක් ද ඇනවුම් කිරීමෙන් පසුව සැපයීමට මාස හයක පමණ කාලයක් ගතවන බව ද වාර්තා වේ.
මෙරට නමගිය ඇතැම් වාහන අලෙවිසල්වල වාහන නොමැති තත්වයක් ද දැකගත හැකි අතර ඇතැම් වාහන අලෙවිසල්වල ඇති පරණ වාහන මිල ඉහළ මට්ටමක පවතී.
ජපානය ඇතුළු රටවල් කීපයකින් කන්ටෙනර් 400 ක පමණ වාහන 950 කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය මාස කීපයේදී කොළඹ වරායට ළඟා වූ බවත් හම්බන්තොට වරායෙන් ද සැලකිය යුතු වාහන ප්‍රමාණයක් ලැබුණු බවත් වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.
අලුත් මෝටර් රථ මිලදී ගැනීමට ඕනෑ තරම් රට පුරා වාහන ආයනකරුවන් සතුව ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසීය.
අලුත් මෝටර් රථ විශාල ප්‍රමාණයක් කොළඹ සහ අවට ප්‍රදේශවල වාහන අලෙවිසල්වල ප්‍රදර්ශනය කර ඇති බවත් කොළඹින් පිටත ආනයනකරුවන් ද වාහන ආනයන කර ඇති බවත් මානගේ මහතා කීය.
අලුත් මෝටර් රථයයක නව මිලට මිලදී ගත හැකි බව කී මානගේ මහතා පරණ වාහන මිල ද මේ වන විට සැලකිය යුතු ලෙස මිල අඩු වී ඇති බව ද මානගේ මහතා සඳහන් කළේය.
– ලංකාදීප