සැමියා සහ ටික්ටොක් පෙම්වතා රවටා එක්දරු මව කරපු කපටි වැඩේ
වත්මන් තරුණ පරපුර මෙන්ම වැඩිහිටියන් අතර සමාජ මාධ්‍ය ඔස්සේ වඩාත් ප්‍රසිද්ධ වී ඇති “ටික් ටොක්” මඟින් පවුල් ජීවිත කඩාකප්පල් වී වටිනා මිනිස් ජීවිතද අහිමි වී යන්නේ විවිධ ප්‍රේම සබඳතා අනියම් සබඳතාවන් නිසාවෙනි. එවැනි සිද්ධියක් පසුගියදා වාර්තා වූයේ ලුණුගල පොලිස් ස්ථානයෙනි. ලුණුගල උඩකිරුව ගම්මානයේ 26 හැවිරිදි එක්දරු මවක් ද මෙම “ටික් ටොක්”වලට තදින්ම ඇබ්බැහි වී විවිධ පුද්ගලයන් සමඟ ‘චැට්’ කරන්නට වූයේ තමාගේ හිතේ උපන් පාළුව කාන්සිය මගහරවා ගැනීමටය.
පෙර පාසල් යන අවුරුදු හතරහමාරක පමණ දියණිය සහ සැමියා ලුණුගල උඩකිරුව ප්‍රදේශයේ නිවසේ තනිකර දමා මෙම තරුණ කාන්තාව ටික් ටොක් මඟින් හඳුනාගත් අනුරාධපුර, මැදවච්චිය ප්‍රදේශයේ 28 හැවිරිදි යුද හමුදා සෙබළ පෙම්වතකු සමඟ පලාගොස් හොර රහසේ විවාහ වෙන්නේ මෙම ටික් ටොක් රංගනයේ ප්‍රතිඵලයක් ලෙසය.
මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය. කලකට පෙර ගම්පහ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ මේ කතාවේ නායිකාවගේ ගම බදුල්ලේය. ඇය විවාහ වීමෙන් පසුව ලුණුගල, උඩකිරුව ප්‍රදේශයේ පදිංචියට ගොස් සැමියා සමඟින් ජීවත්වන අතරතුරේදී සිය ජංගම දුරකතනයේ ‘ටික් ටොක්’ මඟින් අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේ යුද හමුදා සෙබළකු හඳුනාගෙන මාස දෙකක පමණ කාලයක් සිය සැමියාට හොරෙන් ඔහු සමඟ ‘චැට්’ කරන්නට වූයේ ඔහු සමඟ ගොඩනඟාගත් අනියම් ප්‍රේමයක ප්‍රතිඵලයක් ලෙසය.
තමන් අවිවාහක බවත්, නිවෙසේ අය තමාට බදුල්ල නගරයේ වෙළෙඳ සැලක පුද්ගලයකු විවාහ කර දීමට සූදානම් බව ඇය නිතරම සෙබළ ප්‍රේමවන්තයාට පැවැසුවාය. ඔහුද ඇගේ ‘මායමට’ හොඳ හැටියට හසු වූයේ ඇය අවංක අහිංසක යැයි සිතූ නිසාය. දෙදෙනා ‘ටික් ටොක්’ චැට් අතරතුරේ ද සැලසුමක් හදා ගන්නේ අනාගතය ගැන ද කල්පනා කරමිනි.
“අම්මාට සනීප නෑ. එයා මහනුවර ඉස්පිරිතාලේ නවත්තලා“ යැයි ඇය සැමියාට කීවාය.
“අම්මා බලන්න මට යන්න ඕනෑ“ යැයි කියු ඇය දියණිය නිවසේ තබා නිවසින් පිට වුවාය.
ඒ වන විටත් කලින් සැලසුම් කරගත් පරිදි සෙබළා මැදවච්චිය ප්‍රදේශයේ සිට මෝටර් රථයකින් ලුණුගල නගරයට පැමිණ සිටියේය. පසුව පෙම්වතිය ද මෝටර් රථයට නංවාගත් සෙබළා තමාට මුළු රටක්, රාජ්‍යයක් ලැබුණු ලීලාවෙන් අනුරාධපුර මැදවච්චිය නිවසට ඇය රැගෙන ගියේ සතුටිනි.
පසුව සෙබළාගේ පවුලේ අයගේ මනාපය මත සෙබළා ඇය විවාහකර ගත් අතර, ඇය යළි දෙවන වරටද විවාහ වූයේ අනීතික ලෙසය.
‘ටික් ටොක්’ ප්‍රතිඵල සාර්ථක වීම නිසා මෙම යුවළ සතුටින් කල් ගෙවමින් සිටියදී මෙම කාන්තාවගේ 32 හැවිරිදි සැමියා බිරිය අතුරුදන් බවට ලුණුගල පොලිසියට ගොස් පැමිණිලි කළේය. බිරියගේ මව අසනීප වී මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවත් ඇය බැලීමට යන බව පවසා බිරිය සිය සිඟිති දියණිය නිවසේ තබා මෙසේ අතුරුදන් බවට සැමියා පොලිස් නිලධාරීන්ට පැවසුවේය.
ඒ අනුව ලුණුගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත කුමාර චන්ද්‍රසේකර අතුරුදන් කතගේ මව පදිංචිව සිටින නිවසට දුරකතන ඇමතුමක් ලබා ගනිමින් තොරතුරු විමසූ අතර එහිදී මව සනීපෙන් සිටින බවත් නුවර රෝහලේ නැවතී නොමැති බවටත් තොරතුරු අනාවරණය කර ගත්තේය.
පසුව මේ සම්බන්ධයෙන් බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත දැනුම්වත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත කුමාර චන්ද්‍රසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලබා දුන් උපදෙස් අනුව නිලධාරීන් යොදවා ගනිමින් ලුණුගල පොලිස් ස්ථානාධිපතිවරයා පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලදි.
මෙම කාන්තාවගේ ජංගම දුරකතන අංකය අනුව නවීන තාක්ෂණ ක්‍රම යොදා ගනිමින් විමර්ශන කටයුතු සිදු කළ පොලිස් කණ්ඩායම කාන්තාව කැබිතිගොල්ලෑව පොලිස් වසමේ සිටින බවට තොරතුරු අනාවරණය කරගන්නා ලදි. පසුව කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිවරයා මේ ගැන දැනුම්වත් කර එම පොලිසියේ නිලධරයන්ගේ ද සහාය මත සැකකාර කාන්තාව ලුණුගල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
අවුරුදු හතරහමාරක දියණිය කෲරත්වයට පත් කර සැමියා සහ දියණිය අතහැර හොර රහසේ පලා යාමේ චෝදනාව යටතේ මෙම කාන්තාව ලුණුගල පොලිසිය මඟින් පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත, පොලිස් අධිකාරී බුද්ධික ගුණසේකර, සහකාර පොලිස් අධිකාරී දිලිප් ද සිල්වා යන නිලධාරීන්ගේ උපදෙස් මත ලුණුගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත කුමාර චන්ද්‍රසේකරගේ මෙහෙයවීම මත උපපොලිස් පරීක්ෂක එදිරිසිංහ, කාන්තා පොලිස් සැරයන් (6558) සඳමාලි, (7157) චතුරාණී යන පිරිස පරීක්ෂණ කටයුතු සිදු කළහ.
සී. ගමගේ -සොරණාතොට සමූහ
උපුටාගැනීම: සිළුමිණ