පසුගිය වසර කිහිපයේ වී අලෙවි මණ්ඩලයට වුන දැවැන්ත ඛේදවාචකය
වසර හතරකට වැඩි කාලයක් තිස්සේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් ගබඩා 200 කට ආසන්න සංඛ්‍යාවක් කැලෑ වැදී අබලන්වීම නිසා මී ගුහා බවට පත්ව ඇතැයි තොරතුරු අනාවරණය වේ.
මෙවර මහ කන්නයේ (2024/25) අස්වනු ගබඩා කිරීමට මණ්ඩලයේ ගබඩා කඩිනමින් නඩත්තු කිරීම ගැටලුකාරී තත්ත්වයක් බවද පැවැසේ. එමෙන්ම, වී මිලදී ගැනීමේ කටයුතු සඳහා මණ්ඩලයට ඇත්තේ එක ලොරියක් පමණක් බව ද අනාවරණය වේ.
වී අලෙවි මණ්ඩලය නිසා රාජ්‍ය අංශයට සිදුවී තිබෙන පාඩුව රුපියල් බිලියන 28 කට වැඩි බවද පැවසේ. රාජ්‍ය ප්‍රතිපත්ති නිසා මණ්ඩලය පාඩු ලබා තිබෙන බැවින්, මෙම මුදලින් රුපියල් බිලියන 20 ක් මහ භාණ්ඩාගාරය විසින් රාජ්‍ය බැංකුවලට ගෙවීමට අදාළව පසුගිය රජය කාලයේ දී කැබිනට් තීරණයක් ගෙන ඇතැයිද පැවසේ.
වී තොග ගබඩා කිරීමට මණ්ඩලය භාවිත කරන සම්පූර්ණ ගබඩා සංඛ්‍යාව 353 ක් වේ. ඉන් මණ්ඩලයට පමණක් අයිති ගබඩා සංඛ්‍යාව 216 කි. මෙම ගබඩාවලින් ඇතැම් ගබඩා නඩත්තුවක් නොමැතිවීම නිසා කැලෑ වැදී සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත. ඇතැම් ගබඩා පුද්ගලික අංශයට අලෙවි කර ඇතැයි ද අනාවරණය වේ. මණ්ඩලයට පමණක් අයත් ගබඩාවල සම්පූර්ණ ධාරිතාව වී මෙට්‍රික් ටොන් දෙලක්ෂ තිස් දහසකි.
මීට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලින් මණ්ඩලයට ගත් ගබඩා ද මණ්ඩලය විසින් පවත්වාගෙන යන්නේය. මෙම ගබඩා ද සහිතව මණ්ඩලයේ සමස්ත වී ගබඩා කිරීමේ ධාරිතාව මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකට අධිකය. මෙම ගබඩා රැසක්ද ඉතා අබලන් තත්ත්වයේ පැවැතීම නිසා මෙවර මහ කන්නයේ (2024/25) වී අස්වනු එම ගබඩාවල ගබඩා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.
කෙසේ නමුත්, මෙවර මහ කන්නයේ දී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකට අධික වී ප්‍රමාණයක් මණ්ඩලය මගින් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව එහි සභාපති මංජුල පින්නලන්ද කියා සිටියේය.
රුපියල් ලක්ෂයකට අඩු වියදමකින් අලුත් වැඩියා කළ හැකි ගබඩාවල අලුත් වැඩියා කිරීමේ කටයුතු ලබන සතියේ ආරම්භ කරන බවද ඔහු පැවැසීය. ගබඩාවලින් 90 ක පමණ කිරීමට ඇත්තේ සුළු අලුත් වැඩියා කටයුතු බවත්, රුපියල් ලක්ෂයත් ලක්ෂ 05 ත් අතර මුදලක් අලුත්වැඩියා කටයුතු සඳහා වැයවන ගබඩා 48 ක්ද, රුපියල් ලක්ෂ පහකට වඩා වැඩි වියදමක් අලුත්වැඩියා කටයුතුවලට වැයවන ගබඩා 48 ක් තිබෙන බවද සභාපතිවරයා පැවසීය. මෙම ගබඩා 48 බරපතළ ලෙස ගරා වැටී තිබේ.
මෙම ගබඩා අලුත් වැඩියා කිරීමට පසුගිය කාලයේ වරින් වර මුදල් දී ඇතත්, එම මුදල් ප්‍රමාණවත් නොවීම නිසා අලුත් වැඩියා කටයුතු නිසියාකාරව සිදුවී නැතැයි ද සභාපතිවරයා පැවැසීය. ගොවියාගේ නිෂ්පාදන වියදම සලකා බලා රජය මෙවර වී මිල තීරණය කිරීමට නියමිත බව ද ඔහු කීවේය. රජය මෙවර පොහොර සහනාධාරය ලෙස හෙක්ටයාර් එකකට රුපියල් 25,000 ක මුදලක් ලබාදීම නිසා වී නිෂ්පාදන වියදම අඩුවී ඇතැයි ද ඔහු කියා සිටියේය.
මාස හයක කාලයක් වී ගබඩා කර තැබීමට සිදුවන බැවින් නිසි ප්‍රමිතියෙන් යුතු වී පමණක් මිලදී ගන්නා බවද සභාපතිවරයා සඳහන් කළේය.
උපුටාගැනීම: අරුණ වෙබ්පිටුව