ත්‍රිපෝෂ සමාගම අහෝසි කරන්න යනවා කියූ අයට නව රජයෙන් පිලිතුරක්
ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වීමෙන් පසු පත්කරන ලද පළමු කැබිනට් මණ්ඩලයේ විෂය පථය යටතේ ඈවර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම නව කැබිනට් මණ්ඩලය යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට එකතු කර ඇති අතර, එම සමාගම හරහා පෝෂණ ගුණයෙන් යුතු ආහාර සැපයීමට කටයුතු යොදා තිබේ.
ජනාධිපතිවරයා විසින් ඉකුත් සැප්තැම්බර් මස 27 වැනිදා නිකුත් කරන ලද අංක 2403/53 දරන අති විශේෂ ගැසට් පත්‍රය යටතේ පළමු කැබිනට් මණ්ඩලය යටතේ මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සංචාරක ආමාත්‍යාංශයේ විෂය පථයට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අයත් වූ අතර, ඒ අනුව මෙම සමාගම ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නියමිත ආයතන ලැයිස්තුවට ඇතුළත් කෙරුණි.
කෙසේ නමුත්, ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ සූදානම සම්බන්ධයෙන් රජයට පසුගිය කාලයේදී විවිධ චොදනා එල්ල කෙරිණි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පත්කරන ලද නව කැබිනට් මණ්ඩලයේ විෂය පථයන් නොවැම්බර් මස 25 වැනිදා අංක 2412/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කෙරුණු අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විෂය පථයට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම එකතු කර තිබේ.
ඒ අනුව, මෙම සමාගම හරහා විශේෂයෙන් කිරිදෙන මව්වරුන් සඳහා පෝෂණ ගුණයෙන් යුතු ආහාර සැපයීම සහ බෙදාහැරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.