සජබ සහ ඒජාපය එකතු වෙලා අලියා ලකුනෙන් ඉදිරි මැතිවරණයට
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු වී අලියා ලකුණින් තරග කළ යුතු යැයි ද මෙය එම පක්ෂ දෙකේ පාක්ෂිකයින් මෙන්ම රටේ බහුතර ජනතාවත් අපේක්ෂා කරන්නක් වන්නේ යැයිද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා එසේ පැවසුවේ මෙවර මහා මැතිවරණයේදී තමාට සහාය ලබා දුන් ගම්පහ දිස්ත්‍රික්කයේ පක්ෂයේ ක්‍රියාකාරීන්ට ස්තුතිය පුද කිරීම සදහා ඊයේ ( 30දා ) පෙරවරුවේ සියඹලාපේවත්ත ටැමරින් උත්සව ශාලාවේ පැවති සුහද හමුවකදීය.
මේ සුහද හමුව සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 13 නේම ඒ මහතාට පුර්ණ සහාය ලබා දුන් ක්‍රියාකාරීන් සහභාගි වුහ.
“මේ පක්ෂ දෙකේ එකමුතුකමක් දකින්නට එම පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන් පවා මහත් ආශාවෙන් සිටිනවා. මේ සම්බන්ධව ඇතැම් මන්ත්‍රීවරුන් අප සමග කතා කරනවා. අද ඔවුන්ටත් අවශ්‍ය වී තිබෙන්නේ එම පක්ෂ දෙක එකමුතු කරන්නටයි. මීට සජබ නායකයාගෙන් ද යහපත් ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. ඒ සදහා සාකච්ඡා කළ යුතු කාලය දැන් එළැබි තිබෙනවා. එය අපි ප්‍රමාද නොකොට සිදු කළ යුතුයි.
මේ පක්ෂ දෙකේම සිටින්නේ එක්සත් ජාතික පාක්ෂිකයෝයි. අපි දෙකට බෙදි තිබෙනතාක් කල් අපට ඉදිරියට යන්නට බැහැ.මැතිවරණ වලින් ජයග්‍රහණය කරන්නට බැහැ. මේ බව දැන්වත් අපි වටහා ගත යුතුයි. එම පක්ෂ දෙක එකමුතු වුවහොත් අපගේ ජයග්‍රහණය වළක්වන්නට කිසිම බලවේගයට හැකි වන්නේ නැහැ. එම පක්ෂ දෙකේ එකමුතුකම දකින්නට එම පාක්ෂිකයින් ද දැඩි උනන්දුවක් දක්වනවා.
ඉකුත් ජනාධිපතිවරණයේදී හා මහා මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් මටත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාටත් සහාය ලබා දුන්නා. ඉතින් එම උදවියට ස්තුති කරන්නටයි මා මේ සුහද හමුව සුදානම් කෙළේ. එම මැතිවරණ දෙකම අපට විශාල අභියෝගයක් වුනා.නමුත් අපි එයට මුහුණ දුන්නා. කිසිම අවස්ථාවක අපි අභියෝග හමුවේ පැනලා දුවන්නේ නැහැ .අපි එම අභියෝග ජනතාව වෙනුවෙන් සතුටින් භාර ගෙන ඒවාට එඩිතරව මුහුණ දෙනවා.
මේ මැතිවරණ දෙකෙන්ම අපි බලාපොරොත්තු වු ප්‍රතිඵලය අපට ලැබුනේ නැහැ. නමුත් අපි එයට අධෛර්යමත් වන්නේ නැහැ. අපගේ පැවති එම අඩුපාඩුකම් හා දුර්වලකම් අපි මගහරවා ගෙන ශක්තිමත්වි ඉදිරියට යාමට කටයුතු කළ යුතුයි. . එහිදී අපි සියලු දෙනාම එකමුතු කර ගෙන සමගියෙන් කටයුතු කරමු. ඉදිරියේදී අපි අලියා ලකුණින් මැතිවරණ වලට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා. අපගේ පක්ෂ දෙකම එකමුතු වී එකම කණ්ඩායමක් ලෙසට ඉදිරිපත් වී ජයග්‍රහණය කරමු.”