කලකිරී ගෙදරින් පැන ගිය දියණියව ලැගුම්හලක මුදලට විකි නෙයි
තම දූ දරුවන්ගේ ඕනෑ එපාකම්, අවශ්‍යතා, ප්රියතාවයන්, ගමන්බිමන, ඒ අයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, කෙලි සෙල්ලම්, ඉගෙනීම සහ කැමැත්ත ගැන විමසා ඒවා සම්පූර්ණ කර දීම ඕනෑම මවකගේ පියෙකුගේ යුතුකම මෙන්ම වගකීමයි. අම්මාගේ තාත්තාගේ ආදරය කරුණාව අහිමි වන දූ දරුවන්ට අනාගතයද බොහෝදුරට අහිමිය. විශේෂයෙන් මවකගේ පියකුගේ සෙනෙහස දියණියකට අත්‍යවශ්‍යමය. මව ඇයට සහෝදරියක් වන්නේ නම් ඇගේ ජීවන ගමන සාර්ථකය.
තම දූ දරුවන්ගේ අවශ්‍යතා යටපත් කර ඔවුනට අකාරුණිකව සලකන අම්මලා තාත්තලාද මේ ජන සමාජයේ නැත්තේම නැත. එවැනි අකාරුණික වැඩිහිටියන් හා ඥාතින්ගේ ක්‍රියා කලාපය නිසා දුකට, හිංසනයට, පීඩාවට, ලක්වන දරුවන්ගේ අනාගතය කෙබඳු වේද? එලෙස දරුවන් තළන පෙළන, ඔවුනට ආදරය නොකරන, අකාරුණිකව සලකන, අතළොස්සක් අම්මලා තාත්තලාට උදාහරණයකට ගත හැකි පුවතක් පසුගියදා වාර්තා වූයේ රක්වාන පොලිස් ස්ථානයෙනි.
මේ කතාව ගොඩනැඟෙන්නේ මෙසේ ය. ඇය අවුරුදු 15ක පමණ වයසේ පසුවන දැරියකි. පදිංචිය දකුණු පළාතේ වීරකැටිය ප්රදේශයේය.
මේ දැරිය තරමක මනස සෙමෙන් වැඩෙන තත්ත්වයක පසු වූවාය. ඊට ප්‍රතිකාර ලෙස ඇගේ මව්පියන් ඇය නිතරම කැඳවාගෙන ගියේ දේවාල, කෝවිල්වලටය. එහෙත් ඉන් ලැබුණු සුවයක් නම් නැත. මව්පියන් දැරිය දේවාල කෝවිල් ගානේ රැගෙනයාම නැවැත්වූයේ ද නැත. මේ හේතුව නිසා දැරිය මානසිකව ලොකු පීඩාවක් වින්දාය. මේ දීර්ඝ ගමන ඇයට ලොකු මහන්සියක් පීඩාවක් ද ගෙන දෙන්නටත් ඇත.
තමන් දේවාල කෝවිල් ගානේ ගෙන යාම නිසා කලකිරීමෙන් සිටි දැරිය මව්පියන් සමඟ ඒ ගැන විරසකයකින් පසු වූවාය. ඒ විරසකය දුරදිග ගියේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ දැරිය කිසිවකුට නොපවසා නිවෙසින් පිටවීයාමයි. ඒ පසුගිය දිනෙකය.
එසේ නිවෙසින් පිටවූ දැරිය මුලින්ම යන්නේ රත්නපුර කහවත්ත ඇන්දාන ප්‍රදේශයේ පදිංචි ඈ තරමක් දන්නා හඳුනන තරුණයකු සොයාගෙනය. ඇය එම තරුණයා හමුවීමේ බලාපොරොත්තුවෙන් රත්නපුර කහවත්ත මාදම්පේ බස් නැවතුමේ සිටියදී මාදම්පේ මාළු වෙළෙඳ සංකීර්ණයට මාළු රැගෙන ලොරියකින් පැමිණි පිරිසක් සමඟ මිතුරු වන්නේ ටික වේලාවක් ඇතුළතදීය.
ලොරියේ ආ පිරිසද අමානුෂික පුද්ගලයෝ වූහ. ඔවුන් තමාගේ දියණියක බඳු මේ දැරිය ලොරියේ නංවාගෙන කැඳවාගෙන යන්නේ උඩවලවේ ප්‍රදේශයටය. එහි ලැගුම්හලකට කැඳවාගෙන යන දැරිය දින කීපයක් එහි රඳවා තබා ගැනීමෙන් අනතුරුව නැවතත් මාදම්පේ හන්දියට ගෙනැවිත් දමා ගොස් තිබේ.
ඒ අවස්ථාවේ එතැනට ආ මාළු වෙළෙන්දෙක් දැරිය රවටාගෙන මාදම්පේ ප්‍රදේශයේ ලැඟුම්හලකට ගෙන ගොස් එහිදී ඇයට අතවර කර ඇති අතර පසුව මාළු වෙළෙන්දා ඇය තවත් අයට මුදලට විකුණා තිබේ. එහිදී දැරිය මිලදී ගත් පුද්ගලයින් ඇයට අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට ලබා දී ඇත.
මේ අතර තම දියණිය ආගිය අතක් නැති බව දැරියගේ මව්පියෝ වීරකැටිය පොලිසියට පැමිණිලි කළහ. වීරකැටිය පොලිසියේ නිලධරයන් මේ බව රටේ සියලු පොලිස් ස්ථානවලට දැනුම් දෙන්නේ දැරිය සොයා ගැනීම සඳහාය.
මේ අතර රක්වාන පොලිසියට තොරතුරක් ලැබුණි. ඒ අදාළ දැරිය සහ ඇය සිටින ස්ථානය පිළිබඳවය. රක්වාන පොලිසියේ නිලධරයන් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව දැරිය සොයා ගන්නා ලද අතර ඇය මාදම්පේ ලැගුම්හලකට ගෙන ගිය මාළු වෙළෙන්දා සැකපිට අත්අඩංගුවට ගැනිණි.
සැකකාර මාළු වෙළෙන්දා රත්නපුර මාදම්පේ පනාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු 36 හැවිරිදිය. එක්දරු පියෙකි. බිරිය විදේශ රැකියාවක නිරතව සිටින්නීය.
සොයාගත් දැරිය ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහලට ඇතුළත් කළාය. ඇය අතවරයට ලක්වීදැයි සෙවීම සඳහා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට ද ලක් කැරිණි.
අත්අඩංගුවට ගැනුණු මාළු වෙළෙන්දා පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කැරිණි. දැරිය රවටා ලොරියේ දමාගෙන උඩවලවේ නවාතැන්පොළට ගෙන ගිය පුද්ගලයන් සහ දැරිය මාදම්පේ නවාතැන්පොළේදී මුදලට ලබාගත් පුද්ගලයන් සම්බන්ධව පොලිසිය විමර්ශන ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය.
රක්වාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර සෝමසිරිගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී. වී. වික්රමපාල, සැරයන්වරුන් වන නන්දන, විජේරත්න යන නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරති.
දීපාල් සමරසේකර
උපුටාගැනීම: සිළුමිණ