අනියම් පෙම්වතිය රැකගන්න සපිරිගෙට ගිය තෙදරු පියා
ඔහු පෙනුමින් අවුරුදු හැත්තෑපහක් පමණ වයසේ යැයි මට සිතිණි. මා දිහා බලාගෙන හිනැහෙමින් පැමිණි ඔහු මා ඉදිරිපිට වාඩි වූයේය. නම ගම විමසා අවසානයේ මා ඔහුගෙන් වයස කීයදැයි විමසුවෙමි.
“දැන් අවුරුදු 72 යි.”
“රස්සාවක් එහෙම කෙරුවද?”
“ඔව්… මම පතල් රස්සාව කළේ.”
“හිර ගෙදරට එන්නේ මොන වාගේ වැරැද්දක් කරලද?” මම විමසුවෙමි.
“රේප් කේස් එකක්” යැයි ඔහු උත්තර දුන්නේ සිනහ වෙවීය.
“රේප් කේස් එකක්” පෙරළා මට ද එසේ ඇසිණි.
“ඇත්තටම මොකක්ද වුණේ?” මම විමසීමි.
ඔහුගේ මුහුණේ සිනහව වියැකිණි. මොහොතක් කල්පනාවේ නිමග්න විය. නැවත බන්ධනාගාර නිලධාරියා දෙස බැලීය.
“පත්තරෙන් අහන්නේ ඔයා කියන්න.” බන්ධනාගාර නිලධාරියා රැඳවියාව දිරිගැන්වීය.
මොහොතකට පසු ඔහු සිය හඬ අවදි කළේය.
“නෝනා මම දරුවෝ තුන්දෙනෙකුගේ තාත්තා කෙනෙක්. මට ඉන්නේ කොල්ලොම තුන්දෙනෙක්. මේ සිද්ධිය වෙලා අවුරුදු දහයක් විතර වෙනවා. මම හිරගෙදරට ආවේ 2021 අවුරුද්දේ.”
“මම පතල් රස්සාව කළේ. මගේ හිත ගිහිල්ලා තිබුණ කාන්තාවක් අපේ ගමේ හිටියා. අපි දෙන්නා අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණා. දවසක් මම ඒ ගෙවල් පැත්තේ ගියා. ඊට කලිනුත් එහෙම ගිහින් තියෙනවා. කොහොමහරි එදා මම එයාගේ ගෙදරට ගිහින් ටිකකට පස්සේ ගමේ අය ගේ වටකළා. එයාටවත් මටවත් හිතාගන්න බැරි වුණා මොකක්ද කරන්නේ කියලා. මට ඒ වෙලාවේ හිතුණා මගෙත් එක්ක හිටපු ‘එයාට’ ලැජ්ජා කරන්න ඕන නෑ කියලා. එහෙම හිතලා මම එයාට කිව්වා කෑගහන්න කියලා මම එයාට කරදර කරන්න ආවා කියලා. එයත් වෙන කරන්නම දෙයක් නැතිකමට කෑගැහැව්වා. ගමේ මිනිස්සු ගෙට පැන්නා. මම ඒ සෙනඟ අතරින් පැනලා ගිහින් ගමෙන් ඈත පළාතකට ගියා මාව පොලිසියෙන් සොයන බව දන්න නිසා. ගමට එන්න හිතුවෙවත් නැහැ. නොදන්න මිනිසුන් අතර වුණත් මම ඒ මිනිස්සු එක්කම ගොවිතැන් කරගෙන හිටියා. ඔහොම කාලයක් ඉන්නකෙට මට හිතුණා ගෙදර එන්න. මම හිටියේ සූරියවැව පැත්තේ කැලෑවක. මම ගෙදර ඇවිල්ලා දවසකට දෙකකට විතර පස්සේ පොලිසියෙන් මාව අත්අඩංගුවට ගත්තා. පොලිසියෙන් උසාවියට ඉදිරිපත් කළා. වන්දිය විදිහට ලක්ෂ තුනක් ගෙවන්නත් අවුරුදු 14ක සිරදඬුවමකුත් නියම වුණා. ඒ අවුරුදු දාහතරේ සිරදඬුවමෙන් අවුරුදු හතක් අනිවාර්යයි. අනෙක් අවුරුදු 7 අත්හිටවූ දඬුවම් කාලයක්. මේ වන විට මාව ‘ලයිසන් බෝඩ්’ එකටත් දාලා තියෙන්නේ. ළඟදිම යන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.
“අපරාදේ නේද ‘අතවරයක් කරන්න’ ගියා කියලා කිව්වේ?” මම ඔහුගෙන් විමසීමි.
“ඇත්තම කිව්වනම් ඉවරනේ… දෙන්නගෙම කැමැත්ත අනුව කියලා… එහෙමනම් ලොකු උන්නැහේ එළියෙනේ?” මම කීවෙමි.
“එහෙම කරන්න තිබුණා තමයි නෝනා. ඒත් එයා ඊට පස්සේ පාරේ බැහැලා යන්නේ කොහොමද? එයාට ඒ වෙනකොට අවුරුදු පනහක් විතර ඇති. ආදරය කැමැත්ත ඇතිව එහෙම දෙයක් වුණාට එයා සමාජයට එයාගෙ ගෙදරට මුහුණ දෙන්නේ කොහොමද? ඒ නිසයි මම කිව්වේ මම කරදරයක් කරන්න ආවා කියලා කෑගහන්න කියලා. අදටත් මගේ පවුල මාව අවිශ්වාස කරන්නේ නෑ. එයා මාව ගොඩක් විශ්වාස කරනවා. ළඟදි මගේ ‘පවුල’ මාව බලන්න මෙහේ ආවා. එදා මම ගිය ගමන එයා තවමත් විශ්වාස කරන්නේ නැහැ. ඇත්තටම අර කාන්තාව සමඟ මගේ සම්බන්ධයක් තිබුණා කියලා දන්නවා නම් එයා මාව බලන්න මෙහෙට එන්නේ නැහැ.”
දැන් සියල්ල සිදුවී හමාරය. නමුදු එදා ඒ ගිය ගමන නිසා අද ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සිටී. ඔහුගේ පැවැත්ම හොඳ නිසා දැන් ඔහුට දඬුවම ලිහිල් කරගන්නට ද පුළුවන් වී ඇත.
“කලින් මම හිටියේ ‘අඟුණකොළපැලැස්සේ’. එහෙ ඉඳලා තමයි ළඟදි මෙහෙට ආවේ. දැන් මගෙ දරුවෝ ලොකුයි. පුතාලා කසාද බැඳලා ඉන්නේ. දරුවෝ විශ්වාස කරන්නෙත් නෑ මම අර කාන්තාවට කරදර කරන්න ගියා කියලා. අපි අතර සම්බන්ධයක් තිබුණා. ඒක තමයි ඇත්ත. ගමේම අය දැනගත්තොත් ලැජ්ජා වෙන නිසා තමයි මම එයාට කිව්වේ මම ගෙට පැන්නා කියලා කෑගහන්න කියලා. ඒත් ඒක කියද්දී මම කවදාවත් හිතුවේ නැහැ මට මෙහෙම හිරගෙවල්වල ලගින්න වෙයි කියලා. දැන් ඉතිං මොනවා කරන්නද?”
ඔහු හිනැහෙමින් පවසයි.
“ආයෙ ගමේ ගිය දවසට එයාව හමු වෙනවද?”
“නැතුව… එයා එක්ක මගෙ කිසිම තරහක් නෑ. එයත් එහෙම තමයි කියලා මං දන්නවා. මට හිරේ ලගින්න වුණ එක ගැන එයා කනගාටු වෙනවා ඇති. ජීවිතේ ඔහොම තමයි.” ඔහු පැවසුවේ සැහැල්ලුවෙනි.
මේ අහඹු සිදුවීම නිසා අවුරුදු දහයක් පමණ සිරදඬුවම් ලබන ඔහුට මේ සිදු වූයේ කුමක්ද? තවත් කාන්තාවකගේ ගෞරවය ආරක්ෂා කරන්නට ගොස් දඬුවම් ලබන්නට සිදුවීමනම් ඛේදවාචකයකි.
“ආයේ ගෙදර ගියා කියලා රස්සාවක් කරන්නත් බෑනේ. දැන් ඉතිං වයස අවුරුදු හැත්තෑ දෙකක්. ගමට ගියාට පස්සේ තීරණය කරනවා මොනවද කරන්නේ කියලා. කොහොමත් මගෙ දරුවොයි පවුලයි මට නොසලකා හරින්නේ නැති බව මං දන්නවා. මං මගෙ පවුලට හරි ආදරෙයි. මටම තේරෙන්නේ නෑ මං ඇයි ‘එයා’ එක්ක බැඳුණෙ කියලා. ඔහොම තමයි ඉතිං ජීවිතය. මොනවා කරන්නද? කරපු ‘වැරැද්දට’ දඬුවම් ලබන්නත් එපැයි.” කියමින් ඔහු හිනැහෙයි.
අපට සමාජයේ විවිධාකාර පුද්ගලයෝ හමු වෙති. මේ ද එවැනි පුද්ගලයෙකි. පෙම්වතිය සමඟ සම්බන්ධතාවයක් තබාගෙන ගිය ඔහු ඇගේ ගෞරවය සඳහා තම ජීවිතය හිරගෙදරට සින්නක් කර ඇත. මෙවැනි මිනිසෙකු හිරගෙදරදී හමුවූ පළමු අවස්ථාව මෙය යැයි මට සිතේ. ඒ ඔහු ජීවිතයේ ඇත්තම කතාව කියූ නිසාය.
(විශේෂ ස්තූතිය බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියට සහ පුනරුත්ථාපන නිලධාරි දයාන් චන්ද්‍රසේකරට)
(මෙහි එන නම් ගම් මනඃකල්පිතයි)
ඉනෝකා සමරවික්‍රම
උපුටාගැනීම: ලංකාදීප