වාහන ආනයනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡායක්
කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා එකතු කළ අගය මත බදු (වැට්) එකතු කිරීමේ ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කරුණු පෙන්වා දී තිබේ.
එමෙන්ම , බදු අනුකූලතාවය සහ ආදායම් ඉපැයීම වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන විස්තීර්ණ ඩිජිටල් පද්ධතියක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදීය.
මෙහිදී, මෝටර් රථ ආනයනය, රඳවා ගැනීමේ බදු සහ වැට් බදු එකතු කිරීම, ඩිජිටල්කරණය පිළිබඳ ගැටලු සම්බන්ධව අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇති අතර, රට තුළ පවත්නා මූල්‍ය අර්බුදය සහ ආර්ථික ප්‍රමුඛතාවන් සැළකිල්ලට ගනිමින් මෙම ගැටලු විසඳා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර ඇත.
ආදායම් බදු වලට යටත් නොවන විශ්‍රාමිකයින්ගෙන් අය කරන රඳවා ගැනීමේ බදු නැවත ඔවුන්ට ලබා දීම සඳහා පහසු ක්‍රියාවලියක් සැකසීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳව සුබවාදීව අදහස් පළ කළ ජනාධිපතිවරයා, රට යථා තත්ත්වයට පත්වෙමින් ස්ථාවරත්වය කරා ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින බව සඳහන් කර ඇති අතර වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ජනතාව වෙත ලබාදෙන ප්රතිලාභ වැඩි කිරීමට රජය කැපවීමෙන් කටයුතු කරන බව ද එහිදී අවධාරණය කර ඇත.