නීතිවිරෝධීව කොරියාවේ සිටින පිරිස් ගෙන්වීමට පියවර
නියමිත වීසා කාලය අවසන්ව දකුණු කොරියාවේ නීතිවිරෝධීව රැඳි සිටින ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමට වහාම අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
ඔහු පැවසුවේ, එසේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවය.
රැකියා සඳහා යොමුවන පිරිසගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ඉදිරියේදී මෙරටට ලැබෙන රැකියා කෝටාව තීරණය වන බැවින් නියමිත වීසා කාලය අවසන් වී ඇත්නම් නීතිවිරෝධීව දකුණු කොරියාවේ රැඳි නොසිටින ලෙසට ඒ මහතා ඉල්ලා සිටියේය.
ඔහු මේ බව පැවසුවේ දකුණු කොරියාවේ රැකියා සඳහා අද (07) පිටත්ව යන ලාංකිකයින් 96 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට කාර්යාංශයේදී එක්වෙමිනි.
ඔවුන් මේ වසරේ දකුණු කොරියාවේ නිශ්පාදන ක්ෂේත්රයේ රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායමයි.
එමෙන්ම, 2025 වසරේ ශ්‍රී ලාංකිකයින් 8,000 ට ආසන්න පිරිසකට දකුණු කොරියානු රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ද ඒ මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, දකුණු කොරියාවට ශ්‍රමිකයින් බඳවා ගන්නා රටවල් 16 අතර, වඩා ඉහළ දක්ෂතාවයන්ගෙන් යුතු ගුණාත්මක ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවෙන් යොමුකිරීමට ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බවය.
රටවිරුවන් වාර්ෂිකව මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 6,000ට අධික මුදලක් ප්‍රේෂණය කරන බවත්, එම මුදල් මෙරට ආර්ථිකය ඉහළ නැංවීමට විශාල මෙහෙයක් සිදුකරන බවත් ඒ වෙනුවෙන් රජයේ ප්‍රණාමය ඔවුන්ට පුද කරන බවත් ප්‍රකාශ කළේය.
අරුණ