ලැප්ටොප් උස්සා බම්බලපිටියේ සහ පිටකොටුවේ විකිනූ බැට්මෑන් දැලේ පැටලේ
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 26 වැනි මහලට පසුගිය දිනෙක අලුයම් කාලයේ ඇතුළු වූ කිසියම් පුද්ගලයකු එහි පිහිටි කාර්යාල හතරකට ඇතුළු වී රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන සොරකම් කරගෙන ගොස් තිබිණි.
අදාළ කාර්යාලවල අයිතිකරුවන් සහ එම කාර්යාල පිහිටි 26 වැනි මහල බදු ගෙන තිබුණු පෞද්ගලික සමාගමේ ප්‍රධානීන් මේ ගැන කොළඹ කොටුව පොලීසියට පැමිණිලි කරන්නේ අනතුරුවය. අදාළ සිද්ධිය ගැන දීර්ඝ විමර්ශනයක් ආරම්භ කරන්නේ කොටුව පොලිස් ස්ථානාධිපති ලක්මාල් විජේරත්නගේ උපදෙස් මතය. විමර්ශන කණ්ඩායමේ ප්‍රධානියා කොළඹ කොටුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක රෝහණ සිල්වාය.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 26 වැනි මහලට යන පොලිස් පරීක්ෂක රෝහණ සිල්වා ඇතුළු කොළඹ කොටුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මුලින්ම කරන්නේ අස්ථානගතවූ භාණ්ඩ පිළිබඳව සොයා බැලීමයි. ඒ අවස්ථාවේදී පොලිස් නිලධරයන්ට හෙළි වන්නේ ආයතන 4කින් රුපියල් තිස් ලක්ෂයක් පමණ වටිනා ලැප්ටොප් සොරකම් කර ඇති බවය. විමර්ශන සිදුකරගෙන යන පොලිස් කණ්ඩායමට නිරීක්ෂණය වී තිබුණේ සොරකම් සිදුවූ ආයතන 4හිම බිත්තිවල කිසිවකු විසින් ‘බැට්මෑන්‘ ලෙස සටහන් කර ඇති බවය.
එලෙස ‘බැට්මෑන්‘ ලෙස බිත්තිවල සටහන් තැබූ පුද්ගලයා මේ සොරකම්වලට සම්බන්ධ විය හැකි බවට සැකයක් පොලිස් නිලධරයන්ට ඇතිවන්නේ එහිදීය.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සීසීටීවී කැමරා දර්ශන පොලිස් නිලධරයන් නිරික්ෂණය කරන්නේ ඉන් අනතුරුවය. කිසියම් පුද්ගලයකු ජැන්ඩියට හැඳපැලඳගෙන කැප් තොප්පියක් හිසේ දමාගෙන මුව ආවරණයක් ද සහිතව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ඇතුළු වන අයුරුත් ඉන් අනතුරුව ඔහු විදුලි සෝපානයෙන් 26 වැනි මහලට පැමිණ එහි යතුරු පුවරුවෙන් යතුරු රැගෙන කාර්යාලය විවෘත කර එහි තිබුණු ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන බෑගයකට දමා ගන්නා අයුරුත් සීසීටීවී දර්ශනවල සටහන් වී තිබිණි.
මේ සොරකම සිදුකරන පුද්ගලයා 26 වැනි මහල ඇතුළේ පිහිටීම ඉතා මැනවින් අධ්‍යයනය කර ඇති අයකු බව ද ඔහු එහි පිහිටි අදාළ කාර්යාලවලට මීට පෙර ද ඇතුළු වී ඒවායේ කටයුතු සිදුවන ආකාරය හොඳින් දැනසිට ඇති බව ද ඔහුගේ හැසිරීමට අනුව පොලිස් නිලධරයන්ට නිරීක්ෂණය විය. ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් සිදු කරන්නේ මීට පෙර අදාළ කාර්යාලවල සේවය කර මේ වනවිට ඒවායේ සේවය හැර ගිය පුද්ගලයන්ගේ ජංගම දුරකතන අංක සහ මුහුණුපොතේ ගිණුම් ද සොයාගෙන ඒවා පරීක්ෂා කිරීමයි. එලෙස වෝහාරික විමර්ශනයක් සිදුකරන පොලිස් නිලධාරීන් හෙළිකරගන්නේ මීට පෙර එම කාර්යාලයක වැඩ කළ පුද්ගලයකුගේ මුහුණුපොතේ ගිණුමක ‘බැට්මෑන්‘ රුව බහුලව සටහන් ව ඇති බවයි. ලැප්ටොප් සහ ජංගම දුරකතන සොරකම් සිදුවී තිබුණ කාර්යාලවල බිත්තිවල ‘බැට්මෑන්‘ යනුවෙන් ද සටහන්ව තිබුණ නිසා පොලීසියේ සැකය කෙළින්ම යොමුවන්නේ අදාළ පුද්ගලයා වෙතය.
ඊට අමතරව මේ පුද්ගලයාගේ ගමන් විලාසය ද පොලිසියේ දැඩි නිරීක්ෂණයට ලක්විය. ඒ අනුව අදාළ පුද්ගලයා එරිත්‍රියා ජාතිකයකු බව හෙළිකර ගැනිණි. සැකකාර එරිත්‍රියානුවා සොයා යන පොලිස් නිලධාරීන් අනතුරුව ඔහු කොටුකර ගන්නේ කොළඹ ප්‍රධාන පෙළේ කැසිනෝ ශාලාවක් අසලදීය. එලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් පොලිසිය ප්‍රශ්න කරද්දී හෙළි වූයේ අපූරු කතාවකි. සැකකාර එරිත්රියානුවාගේ වයස අවුරුදු 23කි. ඔහුගේ පියා ද මෙරටට පැමිණ ඇත්තේ මීට ටික කාලයකට කලිනි. ඔහු කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 26 වැනි මහලේ කාර්යාලයක් කුලී පදනම මත ලබාගෙන තිබිණි. එම කාර්යාලයේ උපදේශන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් තිබූ අතර සැකකාර 23 හැවිරිදි එරිත්‍රියානු තරුණයා පියාගේ සමාගමේ අධ්යක්ෂවරයකු ලෙස සේවය කර තිබිණි.
ටික කාලයකට පසු එම ආයතනය වසා දැමුවත් අදාළ මහලේ සෙසු කාර්යාල සහ ඒවායේ පිහිටීම් ගැන සැකකාර එරිත්රියානුු තරුණයාට තිබුණේ ලොකු අවබෝධයකි. ඒ අනුව ඔහු සැලසුම් කර මේ සොරකම සිදුකරන ලද බව හෙළි විය.
සැකකරු විසින් එලෙස සොරකම් කර තිබූ ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන අඩු මිල ගණන්වලට පිටකොටුව සහ බම්බලපිටිය ප්‍ර දේශවල යම් පුද්ගලයන්ට විකුණා තිබුණු අතර ඔහු පදිංචි වැල්ලවත්ත නිවෙසේ සහ අදාළ පුද්ගලයන් සතුව තිබී එම ජංගම දුරකතන සහ ලැප්ටොප් පරිගණක කිහිපයක්ද පොලිසිය විසින් සොයාගන්නා ලදි. සැකකාර එරිත්‍රියානුවා විසින් සොරකම් කරන ලද ලැප්ටොප් සහ ජංගම දුරකතන විකුණා ලැබුණු මුදල් කැසිනෝ සූදුව සඳහා යොදවා ඇති අතරර ඔහු කැසිනෝ සූදුවට තදින් ඇබ්බැහි වූවකු බව හෙළිවන්නේ ඒ අනුවය.
සැකකරු සන්තකයේ තිබී සොයාගන්නා ලද ජංගම දුරකතනය ද පොලීසිය විසින් පරික්ෂාවට ලක්කෙරිණි. එහි ඔහු භාවිත නොකරන මුහුණුපොතේ ගිණුමක ‘බැට්මෑන්‘ගේ රුව විශාල වශයෙන් සටහන්ව තිබී ඇති අතර මේ තරුණයා කුඩා කාලයේ සිටම ‘බැට්මෑන්‘ චරිතයට ඉතා ආශා කර ඇති බව ද හෙළි විය.
ඔහු පොලිසියට පවසා ඇත්තේ තමාගේ වීරයා ‘බැට්මෑන්‘ බවය. තමා කරන කියන සියලු කාර්යයන් සඳහා බැට්මෑන් නම සහ රුව යොදාගන්නා බව ද සොරකම් සිදුකළ කාර්යාල බිත්තිවල බැට්මෑන් නම සටහන් කළේ ඒ නිසා බව ද ඔහු පොලීසියට කියා ඇත.
කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් ගලගමගේගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි මිනුර සෙනරත්ගේ අධීක්ෂණයෙන් කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්නගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ සිල්වා, උපපොලිස් පරීක්ෂකවරුන් වන වීරකෝන්, පණ්ඩිතරත්න, සැරයන් (38861) සෙනෙවිරත්න, කොස්තාපල්වරුන් වන (94960) රාජපක්ෂ ඇතුළු නිලධාරින් වැඩිදුර විමර්ශන සිදුකරගෙන යන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
දීපාල් සමරසේකර
උපුටාගැනීම: සිළුමිණ