මිතුරාව නොඑන ගමන් යැවූ ඇස් රතුවෙන විහිලුව
සමහරුන් කරන ඇතැම් විහිළු-තහළු කෙනකුට විනෝදයක් ගෙන දෙද්දී තවෙකෙකුගේ ඇස් රතු කරවන බව සාමාන්‍ය දෙයක් වුවද එලෙස විහිළුවක් දුරදිග ගොස් එය මිනිස් ජීවිතයක අවසානයෙන් කෙළවර වෙනවා නම් මොන තරම් ඛේදවාචකයක් දැයි ඕනෑම කෙනෙකුට සිතාගත හැකිය.
මේ එවන් සිද්ධියකි. සීතාවක කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් සිදුළ විමර්ශනයකදී මේ කතාව හෙළි විය.
ඉකුත් මාස කීපය පුරාවට එකම තැන රැකියාව කරමින් එකම බෝඩිම් කාමරයේ ගත කරමින් එකටම කා-බී දුක-සැප බෙදාගෙන ජීවත්වූ කුලුපග මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ විහිළුවක් දුරදිග යෑමෙන් සිදු වූයේ ඉන් එක් අයෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නටය. අනෙකාට මහඋළුගෙදර කූරු ගණින්නටය.
අවිස්සාවේල්ල පොලිස් වසමේ සිදුවූ මේ සිදු වීමේදී ඝාතනය වූයේ පූර්වරාජ් දර්ශන් නමැති අයෙකි. විහිළුව දුරදිග යෑමෙන් දර්ශන් ඝාතනය කළ සැකකරු ප්‍රදීප් ඩිලක්ෂන්ය. දර්ශන් ඝාතනයෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් කුරුණෑගල, බරම්පොළ ප්‍රදේශයේ කොහු මෝලක සැඟව සිටි ඩිලක්ෂන් අත්අඩංගුවට ගැනුණේ අවිස්සාවේල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ලියනගේගේ උපදෙස් මත කොස්තාපල් 70701 සම්පත් අරුණශාන්ත සිදුකළ සූක්ෂ්ම විමර්ශනයකින් අනතුරුවය.
දර්ශන් ඝාතනය කළ ඩිලක්ෂන් ඝාතනයෙන් දින හයකට පසු එනම් ඉකුත් පෙබරවාරි 4 වැනිදා අත්අඩංගුවට ගන්නේ ඩීසීඩීබී කොස්තාපල් සම්පත් සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය. දර්ශන් ඝාතනයේ සුලමුල අනාවරණය කරගත් ආකාරය අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොත්වල සටහන් වන්නේ මෙලෙසිනි.
අවිස්සාවේල්ල මූලස්ථාන පොලීසියේ නිලධාරින්ට ඉකුත් 27 වැනිදා රාත්‍රිය ද රාජකාරි බහුල වී තිබුණේ අවිස්සාවේල්ල නගර මධ්‍යයේ දින කීපයක් පුරා පැවැති විනෝද සැණකෙළිය (කානිවල්) එදින ද මැදියම් රැය තෙක් පැවැත්වුණු නිසාය. ඒ අතර එදින රාත්‍රී 10.35ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට ඇමතුමක් ලැබිණි.
“සර්… විද්‍යාල පාරේ දෙවැනි ගොඩනැඟිල්ලේ උඩ තට්ටුවේ මනුස්සයෙක් වැටිලා ඉන්නවා… එයා මැරිලා වගෙයි පේන්නේ…“ යැයි එම ඇමතුමෙන් කියැවිණි.
එම පණිවිඩය ලද සැණින් අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දැනුම්වත් කළ එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා ඇතුළු කණ්ඩායමක් එම නිවෙස සොයා ගියහ. පොලිස් නිලධාරින් කණ්ඩායම එම නිවසට යන විටත් එම ස්ථානයේ කීපදෙනෙක් රැස්ව සිටියේ වැටී සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමට තැත් කරමිනි. පොලිස් නිලධාරින් දුටුවේ වැටී සිටි පුද්ගලයා සිටි ස්ථානයේ අධික ලෙස රුධිරය වහනය වී ඇති ආකාරයයි. අනතුරුව පොලිස් නිලධාරින්ගේ ද මැදිහත් වීමෙන් එලෙස වැටී සිටි පුද්ගලයා වාහනයකින් අවිස්සාවේල්ල රෝහලට රැගෙන ගිය ද ඔහු ඒ වන විටත් මියගොස් සිටි බව පොලිස් නිලධාරින්ට රෝහලෙන් දැනගැනීමට හැකි විය..
අවිස්සාවේල්ල පොලිස් නිලධාරින් එම මරණය පිළිබඳ මූලික විමර්ශන ඇරැඹුවේ එලෙස මියගොස් සිටින්නේ කවුරුන්ද යන්න මුලින්ම හඳුනා ගැනීම සඳහාය. එහිදී පොලිස් නිලධාරින් එම පුද්ගලයා සින්නසූරිය කන්ද, මස්කෙළිය ලිපිනයේ පදිංචි 24 හැවිරිදි පූර්වරාජ් දර්ශන් බව අනාවරණය කරගත්තේය. අවිවාහක පුද්ගලයකු වන දර්ශන් ඊට මාස කීපයකට පෙර අවිස්සාවේල්ලට පැමිණ නගරයේ ප්‍රසිද්ධ තොග වෙළෙඳසලක රැකියාව කළ බවත් හෙළිදරවු විය.
ඒ අතර පොලිස් නිලධාරින් සොයාගත්තේ දර්ශන්ගේ බෝඩිම් කාමරයේම ලොයිලන්ඩ් වත්ත, බගවන්තලාව ලිපිනයේ පදිංචි 21 හැවිරිදි රෙන්ගනාදන් ප්‍රදීප් හෙවත් ඩිලක්ෂන් නමැත්තා ද නැවතී සිටි බවත් ඔහු ද මීට මාස තුනකට පමණ පෙර අවිස්සාවේල්ලට පැමිණ දර්ශන් රැකියාව කළ තොග වෙළෙඳසලේම රැකියාව කළ අයෙකු බවත්ය.
ඩිලක්ෂන් සහ දර්ශන් අතර සිදුවූ බහින්බස් වීමක් නිසා දර්ශන්ගේ මරණය සිදුවී ඇති බව පොලිස් නිලධාරින් අනාවරණය කරගත්තේ සිදු කරන ලද විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසය. වැඩිදුරටත් පොලීසිය සිදුකළ විමර්ශනවලින් හෙළි වූයේ සැකකාර ඩිලක්ෂන්, දර්ශන්ගේ මරණයෙන් පසු පලා ගොස් ඇති බවය. අවිස්සාවේල්ල රෝහලේදී සිදුකළ දර්ශන්ගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ ඔහුගේ මරණය සිරුර තියුණු ආයුධයකින් කැපීම නිසා සිදු වූවක් බවය. අවිස්සාවේල්ල පොලීසියේ නිලධාරින් වැඩිදුරටත් සිදුකළ විමර්ශනයේදී හෙළි වූයේ දර්ශන් සහ ඩිලක්ෂන් අතර නිතර ආරවුල් මීට පෙර ද සිදුව ඇති බවය. සැකකාර ඩිලක්ෂන් සොයා අවිස්සාවේල්ල පොලිස් නිලධාරින් කඩිනමින් පුළුල් විමර්ශනයක් අරඹන්නේ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ ද උපදෙස් මතය.
එලෙස අවිස්සාවේල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සැකකරු සොයා විමර්ශන සිදු කරද්දී අවිස්සාවේල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ලියනගේ විසින් එම ඝාතනයට සැක ඩිලක්ෂන් සොයා කඩිනමින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන්නේ අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ 70701 කොස්තාපල් සම්පත් අරුණශාන්ත නිලධාරියාටය. ඒ ඉකුත් ජනවාරි 29 දාය.
කොස්තාපල් සම්පත් අරුණශාන්ත මෙවැනි විමර්ශන සඳහා හසළ අත්දැකීම් ලත් නිලධාරියෙක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ද දැන සිටියේය. ඒ, කොස්තාපල් සම්පත් රහස් පොලීසියේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ රාජකාරි සිදු කරද්දී මෙවැනි විමර්ශන රැසකම සුලමුල අනාවරණය කරගත් දක්ෂ පොලිස් නිලධාරියෙක් වූ හෙයිනි.
කොස්තාපල් සම්පත් මෙවැනි විමර්ශනවලින් ලත් අත්දැකීම් ඔස්සේ සැකකාර ඩිලක්ෂන් සොයා සූක්ෂ්ම විමර්ශනයක් ඇරැඹුවේ දුරකතන විශ්ලේෂණ වාර්තා, පෞද්ගලික තොරතුරුකරුවන් ඔස්සේ මෙන්ම බුද්ධි තොරතුරු එක්රැස් කරමිනි. එහිදී කොස්තාපල් සම්පත් මුලින්ම සැකකාර ඩිලක්ෂන් භාවිත කළ දුරකතන අංකය හඳුනා ගැනීමත් සමඟ ඔහු දර්ශන් ඝාතනයෙන් පසු එදින රාත්‍රියේම කොළඹ පිටකොටුව, ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශවල සැරිසරා ඇති බව දුරකතන විශ්ලේෂණ වාර්තා මඟින් තහවුරු කරගත්තේය. මේ අතර විශේෂ කාර්යාංශයේ අවිස්සාවේල්ල උප ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කෝසල බුද්ධදාසගෙන් ලද බුද්ධි තොරතුරුවල මනා සහාය මත ඩිලක්ෂන් සොයා සම්පත් දිගින් දිගටම විමර්ශන ක්‍රියාත්මක කළේය. එහිදී ඩිලක්ෂන්ගේ දුරකතන අංකයේ වැඩිදුර දත්ත වාර්තා මඟින් හෙළි වූයේ ඔහු අවිස්සාවේල්ලේ සිටියදී තරුණියක සමඟ ප්‍රේම සබඳතාවක් ද පවත්වා ඇති බවයි. ඇය අවිස්සාවේල්ලේ බෝඩිමක නතර වී එම පළාතේ ප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියාව කළාය. එම රූමත් තරුණිය මුණ ගැසුණු කොස්තාපල් සම්පත් ඇගෙන් ලබාගත් තොරතුරුවලට අනුව හෙළිකර ගන්නේ ඩිලක්ෂන්, දර්ශන් ඝාතනයෙන් පසු ඔහුගේ මව සිටින කුරුණෑගල ප්‍රදේශයට පලා ගොස් ඇති බවය.
“සර්… එදා රෑ ඩිලක්ෂන් කොළඹ යන ගමන් මට කතා කළා… එයා කිවුවා පොඩි ප්‍රශ්නයක් වුණා කොළඹ යන ගමන් කියලා… ආයිත් අවිස්සාවේල්ලේ එන්නේ නෑ කිවුවා… එයාගේ අම්මා බලන්න කුරුණෑගල යනවා කිවුවා…“ යැයි ඇය කොස්තාපල් සම්පත්ට පැවැසුවාය. එහෙත් ඇයට ඔහු සිය මව සිටින ඉසව්ව ගැන නිශ්චිත ලෙස පවසා තිබුණේ නැත.
කෙසේ හෝ විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කෝසල බුද්ධදාසගේ පෞද්ගලික තොරතුරුකරුවකු මාර්ගයෙන් ඩිලක්ෂන්ගේ මව සිටින්නේ කුරුණෑගල, බරම්පොළ ප්‍රදේශයේ කොහු මෝලක රැකියාව කරමින් බවට තොරතුරු හෙළි විය. ඩිලක්ෂන් ද එම ප්‍රදේශයට ගොස් මව සේවය කරන කොහු මෝලේ රැකියාව කරන බවද එකී තොරතුරුකරුගෙන් ‘තිර‘ ලෙසට ම අනාවරණය කරගන්නේ ඔය අතරය.
ඒ අනුව අවිස්සාවේල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඒ.එස්.ජේ අබේධීරගේ මෙහෙයවීමෙන් කොස්තාපල්වරුන් වන 70701 සම්පත්, 86248 වීරප්පෙරුම, 99679 රත්නායක සහ ප්‍රභාත් ඇතුළු කණ්ඩායම කුරුණෑගල, පහළවත්ත, හල්මිල්ලවැව, බරම්පොළ ප්‍රදේශයට ගොස් අදාළ කොහු මෝලේ සිටියදී ඩිලක්ෂන් අත්අඩංගුවට ගත්හ. ඒ, ඉකුත් පෙබරවාරි 04 දා සවස් යාමයේය.
අත්අඩංගුවට ගත් ඩිලක්ෂන්ගෙන් එම ස්ථානයේදීම ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේධීර විසින් ප්‍රකාශයක් ගන්නා ලදි.
“සර්ලා මාව හොයාගත්ත විදිහ මට හිතාගන්නවත් බෑ… මං මෙහෙට ඇවිල්ලා ෆෝන් එකක්වත් පාවිච්චි කළේ නෑ… කවුරුත්ම දන්නෙත් නෑ මං මෙහෙට ආවා කියලා… සර්… මං බය වුණා හොඳටම… පොලිසියට අහුවුණොත් දර්ශන් මරපු එකට ජීවිතේ තියනකල්ම හිරේ යන්න වෙයි කියලා මට ලොකු බයක් ඇතිවුණා…“ යැයි ඔහු පොලිස් නිලධාරින් ඉදිරියේ බැගෑපත් වෙමින් පැවැසීය.
එලෙස ඩිලක්ෂන්ගෙන් ප්‍රකාශයක් ලබාගනිද්දී කොස්තාපල් සම්පත් ඩිලක්ෂන්ගේ මවගෙන් ද ප්‍රශ්න කළේය.
“සර්… මං මේ ගැන කිසිම දෙයක් දන්නේ නෑ… කොල්ලා පහුගිය 28 වැනිදා මට කෝල් කළා… වැඩ කරන තැන ප්‍රශ්නයක් වුණා කිවුවා… මට අවිස්සාවේල්ලේ ඉන්න බෑ… ඒක නිසා අම්මා ළඟට එනවා කිවුවා…“ යැයි මව පැවැසුවාය.
ඒ අනුව ඩිලක්ෂන්, දර්ශන් ඝාතනයෙන් පසු දින එනම් ඉකුත් 28 දාම කුරුණෑගල, බරම්පොළට ගොස් කොහු මෝලේ රැකියාවට එක් වූයේ ඔහු සිදුකළ අපරාධය සම්බන්ධයෙන් ‘වචනයක්වත් කිසිවකුට නොපවසමිනි. එලෙස අත්අඩංගුවට ගත් ඩිලක්ෂන්ගේ පාපෝච්චාරණයට අනුව දර්ශන් ඝාතනයට යොදාගත් බිඳින ලද උල් හැඩැති බීර බෝතල් කැබැල්ල සහ ඔහු ඒ මොහොතේ ඇඳ සිටි රුධිරය සහිත ඇඳුම් ද දෙදෙනා නවාතැන්ගෙන සිටි බෝඩිමේ සඟවා තිබියදී සොයා ගැනිණි. ඩිලක්ෂන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමත් සමඟ දර්ශන් ඝාතනයේ සුලමුල අනාවරණය වූයේ මේ ආකාරයටය.
ඉකුත් ජනවාරි 27 වැනිදා ඉරිදා දින අවිස්සාවේල්ල නගරයට සුවිශේෂ දිනයක් වූයේ එදින අවිස්සාවේල්ල නගර මධ්‍යයේ දින කීපයක් පුරා පැවැති විශාල සැණකෙළිය (කානිවල්) එදින ද මැදියම් රාත්‍රිය වන තෙක් පැවැත්වීම නිසාය. එකම බෝඩිමේ සිට එකම ස්ථානයක රැකියාව කළ ඩිලක්ෂන් සහ දර්ශන් ගජමිතුරන් දෙදෙනා ද සැණකෙළියේ අසිරිය විඳීමට එහි යාමට සූදානම් වුණේ දින ගණනාවක සිටමය. හිතවතකු මාර්ගයෙන් මීට මාස තුනකට පමණ පෙරදී අවිස්සාවේල්ල තොග වෙළෙඳසලේ රැකියාවට පැමිණි ඩිලක්ෂන්, දර්ශන් සමඟ එකම බෝඩිමේ වාසය කිරීමත් සමඟ දෙදෙනා සෑම දිනෙකම පාහේ සවස් යාමයේ මත්පැන් පානයට හුරුපුරුදුව සිටියහ. ඒ අතර දෙදෙනා අතර නිතර ආරවුල් ද ඇතිවී තිබිණි. ඉකුත් 27 වැනිදා සන්ධ්‍යා යාමයේ දෙදෙනා සැණකෙළි භූමියට යාමට මත්තෙන් හොඳහැටි සූර් වූයේ බීර බෝතල් කීපයක්ද හිස් කරමිනි. අනතුරුව දෙදෙනා බමන මතින් යුතුව එදින රාත්‍රී 8ට පමණ සැණකෙළි භූමියට ඇතුළු විය. ඒ වන විට එහි තරුණ තරුණියන් බේදයකින් තොරව එහි ඇසෙමින් තිබූ සංගීතයට අනුව නර්තනයේ යෙදෙමින් සිටියේ කඩි ගුලක් ඇවිස්සුවාක් මෙනි.
එලෙස නර්තනයේ යෙදෙන තරුණ ළඳුන් අතරට ගිය දර්ශන් සහ ඩිලක්ෂන්ද නර්තනයේ යෙදුණේ බමන මතිනි. මඳ වේලාවක් දෙදෙනා නර්තනයේ යෙදෙද්දී නොසිතූ මොහොතක දර්ශන් එක්වරම ඩිලක්ෂන් තල්ලුකර දැමුවේ නර්තනයේ යෙදෙන තරුණියක දෙසටය. තරුණියගේ සිරුරේ ඩිලක්ෂන් ගැටීම නිසා ඒ අසල සිටි තරුණියගේ වැඩිමල් සොයුරා ඇතුළු පිරිසක් මාරාවේෂ වූහ. ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ එම තරුණියගේ වැඩිමල් සහෝදරයා ඇතුළු කණ්ඩායම ඩිලක්ෂන්ට හොඳැටි පහර දෙන්නට වූයේ ඉවක්-බවක් නොමැතිවය.
එලෙස ඩිලක්ෂන්ට පිරිස පහර දෙද්දී දර්ශන් එම ස්ථානයෙන් පලා ගියේ පහර කන ඔහුගේ ගජමිතුරා එම ස්ථානයේ තනි කරමිනි. එලෙස දර්ශන් එක පිම්මේ දිව ගොස් නතර වූයේ බෝඩිම් කාමරයේය. හොඳහැටි පහර කෑ ඩිලක්ෂන් ද අනතුරුව සැණකෙළි භූමියේ තවදුරටත් නොරැඳි පැමිණියේ බෝඩිම් කාමරයටය. ඩිලක්ෂන් බෝඩිම් කාමරයට පිවිසෙද්දී දර්ශන් ‘බක… බක…‘ ගා සිනාසෙන්නට වූයේ උපහාසයට මෙනි. දර්ශන් එලෙස සිනාසෙන ආකාරය දුටු ඩිලක්ෂන්ගේ කේන්තිය තව තවත් තීව්ර විය.
“මොකද්ද බං උඹ ඒ කළ පල් වැඩේ…?“ යැයි ඩිලක්ෂන් කේන්තියෙන් පිපිරෙමින් ඇසීය.
“ඇයි… උඹට එහෙම කළාම මොකද වෙන්නේ…? උඹට මං විහිළුවක්නේ කළේ…“ යැයි කියමින් දර්ශන් ද එකට එක කියන්නට වූයේ ඩිලක්ෂන් ඒ වන විට පිරිසගෙන් පහර කෑමෙන් සිටි තත්ත්වය ද තඹ දොයිතුවකට මායිම් නොකරමිනි.
ඒ සමඟම දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීම දුරදිග ගොස් දර්ශන් ඩිලක්ෂන්ට බඳ පටියකින් පහර දීමට තැත් කළේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනින්නාක් මෙන් ඩිලක්ෂන් තව තවත් අපහසුතාවට පත් කරමිනි.
සිය කේන්තිය ද ඉහවහා ගොස් බමන මතින්ද සිටි ඩිලක්ෂන් ක්ෂණයෙන් ක්‍රියාත්මක වෙමින් අසල තිබූ බීර බෝතලයක් බිඳ එහි අත ඉතිරි වූ කැබැල්ලෙන් දර්ශන්ගේ පපු ප්‍රදේශය පසාරු කරගෙන යන ලෙස පහර දුන්නේ ක්ෂණිකවය. ඒ සමඟම දර්ශන් ලේ පෙරාගෙන බෝඩිම් කාමරයේ බිම ඇද වැටිණි. ඒ වන විට වේලාව රාත්‍රී 10.15ට පමණ විය. දර්ශන් ඇද වැටුණු ශබ්දය ඇසුණු අහල-පහල බෝඩිම් කාමරවල සිටි පිරිස් ද එම ස්ථානයට එක්රැස් වූයේ ක්ෂණයෙනි.
“අනේ… මගේ යාළුවගේ අත කැපුණා… ඉක්මනට මොකක්හරි වාහනයක් ගේන්න…“ යැයි එලෙස රැස්වූ පිරිසගෙන් ඩිලක්ෂන් අයැද සිටියේය. අනතුරුව ඒ අසලට රැස්වූ පුද්ගලයෙක් කීවේ, ‘එහෙනම් ඔයා ඉක්මනට 1990ට කතා කරන්න…‘ යැයි කියායි.
“1990 කියන්නේ පොලීසිය ද?“ යැයි ඩිලක්ෂන් ඇසුවේ ඔහුගේ දැනුමේ තරම කියාපාමිනි.
“නෑ… නෑ… 1990 කියන්නේ පොලීසිය නෙවෙයි… ඇම්බියුලන්ස් එකක්…“ යැයි එම පුද්ගලයා නැවත කී සැණින් ඩිලක්ෂන් සිය ජංගම දුරකතනයෙන් 1990 අංකයට දිගින් දිගටම ඇමතුවද ගිලන් රිය එහි පැමිණීමට ප්‍රමාදයක් විය.
දෙදෙනා ජීවත්වූ බෝඩිම් කාමරයට එන පිරිස ද ක්‍රමයෙන් වැඩිවෙමින් තිබිණි. ඒ අතර හිමින් සීරුවේ ඇඳ සිටි ඇඳුම් ද මාරු කළ ඩිලක්ෂන් ලේ තැවරුණු එම ඇඳුම් සහ බීර බෝතල් කැබැල්ල කිසියම් ස්ථානයක සැඟවීය.
අනතුරුව හිමින් සීරුවේ බෝඩිම් කාමරයෙන් පිටතට පැමිණි ඩිලක්ෂන් අවිස්සාවේල්ල නගරයට පැමිණ ගොඩ වූයේ පිටකොටුව බලා යන බස්රථයකටය. ඒ, පිටකොටුවේ කරනවෑමි රැකියාව කරන ඔහුගේ හිතවතකු මුණගැසීමේ අටියෙනි. පිටකොටුවට පැමිණි පසු ඔහුට සිහිපත් වූයේ තමන් සන්තකයේ මුදල් නැති බවයි. ඊට පිළියමක් සෙවූ ඩිලක්ෂන් තමන් සතුව තිබූ ජංගම දුරකතනයද රුපියල් 1500කට කිසිවකුට විකුණා දැමීය.
“සර්… ඒ සල්ලි වියදම් කරලා තමයි මං අම්මා හම්බවෙන්න කුරුණෑගලට ගියේ…“ යැයි ඔහු පොලිස් නිලධාරින් ඉදිරියේ පැවැසීය.
අනතුරුව ඉකුත් 2 වැනිදා සවස් යාමයේ අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් ඩිලක්ෂන් තුෂ්නිම්භුතව සිටියේ අවිස්සාවේල්ලේ සිට ඒසා දුරක් ගොස් සැඟවී සිටියද ඔහු අපරාධයෙන් දින 6ක් වැනි කෙටි කාලයකදී පොලීසියට කොටු වූ ආකාරය ගැන සිතමිනි.
එලෙස අත්අඩංගුවට ගත් ඩිලක්ෂන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ඇස් රතු වුණු විහිළුවක් දුරදිග යාමේ ආදීනව කියාපාමිනි.
අමිල මලවිසූරිය
ලංකාදීප