ගාලු කොටුවේ සංචාරකයන්ට අයාලේ යන ගවයන්ගෙන් කරදර
ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.
එලෙස පැමිණෙන සංචාරකයින්ගේ වැඩි ආකර්ශනයක් දිනාගන්නා ගාලු කොටුව මේ දිනවල අයාලේ යන ගවයින්ගේ තෝතැන්නක් බවට පත්ව තිබීම හේතුවෙන් සංචාරකයින් අපහසුතාවට පත්ව ඇති බව වෙළෙඳුන් සහ ජනතාව චෝදනා කරනවා.
සංචාරක පාරාදීසයක් ලෙසින් ප්‍රකට ගාලු කොටුවේ අසිරිය විඳගැනීම සඳහා විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් මේ දිනවල දිවයිනට පැමිණෙමින් සිටිනවා.
මහ බැංකුව වාර්තා අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ පමණක් මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 135,907ක්.
එමෙන්ම මෙම මාසයේ ගත වූ දින 10 තුළ පමණක් විදෙස් සංචාරකයින් 61,767 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් මෙරට ප්‍රධාන සංචාරක මර්මස්ථානයක් වන ඓතිහාසික ගාලු කොටුවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට සහ රථ වාහනවලට මේ දිනවල ගැටලුවකට මුහුණ දීමට සිදුව තිබෙන්නේ අයාලේ යන ගවයන් සහ සුනඛයින් හේතුවෙන්.
මෙම සතුන් නිසා සංචාරකයින් අපහසුතාවට පත් වී ඇති අතර ඉකුත් දිනවලදී විදෙස් සංචාරකයින් පිරිසකට ගවයින් ඇනීමට තැත් කර ඇති බව ද ගාලු කොටුව අවට ජනතාව පවසනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණෙන මෙම කාලසීමාවේදී අදාළ ගැටලුවට විසඳුමක් ලබාදීමට වගකිවයුතු බලධාරීන් හැකි ඉක්මනින් පියවර ගත යුතු බවයි.